Ad

රනිල් යා යුතුයි : හිරුණිකා පසුපෙළ සමඟ රනිල් එළවන සටනට.


පක්ෂ නායකත්වය ඇතුලු සියලු තනතුරුවල වෙනසක් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ දුන් ප්‍රතිඥාව ඉටු නොකිරීමට විරෝධය පාමින් අගමැතිවරයා සහභාගි වන රැස්වීම් වර්ජනය කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු විසි (20) දෙනකු පමණ තමන් සමග එම තීරණයට එළැඹ සිටින බව ද කියා සිටියාය.

එම තීරණයට එළැඹ සිටින සියලුම මන්ත්‍රීවරුන් "දිවි හිමියෙන්" අගමැති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ සහ "නොයෙක් අසාධාරණකම්වලට ලක් වූ" පුද්ගලයන් බව පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය "පක්ෂ නායකත්වයෙන් මිස අගමැති පදවියෙන් ඉල්ලා අස්විය යුතු" යයි අගමැතිවරයාට කිසිදු බලකිරීමක් නොකරන බවත් අවධාරණය කළාය.

"විශ්වාසභංගයට මුහුණ දෙන කොට අගමැතිතුමාගේ චරිතයේ වෙනස්වීම් අපි දැක්කා. අපි ඒක විශ්වාස කළා. ඒ විශ්වාසය මත අපි හැමදෙනාම අගමැතිතුමා වෙනුවෙන් එදා නැගී සිටියා."

ඒ අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂ ප්‍රතිසංවිධාන සඳහා සජිත් ප්‍රේමදාස, රුවන් විජේවර්ධන සහ ජේ.සී. අලවතුවල ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටු කිහිපයක් පත්කරන ලද බව සිහිපත් කරන කොළඹ දිස්තික් මන්ත්‍රීවරිය, තමන් ද එවැනි එක් කමිටුවක සාමාජිකත්වය දැරූ බවත් සඳහන් කළාය.විශේෂයෙන්ම පක්ෂයේ සියලු නිලතල සඳහා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් මගින් නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවට රුවන් විජේවර්ධන කමිටුව නිර්දේශ කළේ "ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජනතාවගේ හඬ" බව අවධාරණය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පවසන්නේ, එවැන්නකට පක්ෂ ව්‍යවස්ථාවෙන් ඉඩකඩ ඇසිරී තිබෙන්නේ නම් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ද බාධාවක් නොමැති බවය.

මන්ත්‍රීවරිය පවසන පරිදි "රුවන් විජේවර්ධන කමිටුවේ සියලු නිර්දේශ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුය" යන්න ඇය ඇතුලු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රධානම ඉල්ලීම වී ඇත.

"අගමැතිතුමා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතුයි කියල කියන්නේ අපි නෙවෙයි; අජිත් පී පෙරේරා, හරීන් ප්‍රනාන්දු, සුජීව සේනසිංහ වගේ අගමැතිතුමාගේ ලඟින්ම හිටපු අය තමා දැන් කියන්නේ. අපිත් ඒ මතය දරනවා."

(Lanka DNA)

Powered by Blogger.