රෝසිගේ වැසිකිළියට ලක්ෂ 57ක් : හමුවෙන්න බැරි බවටත් චෝදනා.


කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නගරාධිපති නිල නිවසේ වැසිකිළි පද්ධතිය නවීකරණය සඳහා රුපියල් ලක්ෂ 57ක් වෙන්කරගෙන ඇතැයි නාගරික මන්ත්‍රී සුමිත් පස්සපෙරුම මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16)  පැවැති නගර සභා රැස්වීමේදීය.

කෙසේවුවද, මේ සම්බන්ධයෙන් නගාරාධිපතිනිය කියා ඇත්තේ වසර 4ක කාලයක් එම නිල නිවස ප්‍රයෝජනයට නොගැනීම හේතුවෙන් එහි වැසිකිළි පද්ධතිය අබලන්ව තිබීම නිසා එය අලුත්වැඩියා කිරීමට පියවර ගත් බවයි.

පස්සපෙරුම මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේ කොළඹ නගරයේ පොදු වැසිකිළියක් ආසන්නයෙන් හෝ යාමට නොහැකි තත්ත්වයක් තිබියදී නගරාධිපතිනියගේ වැසිකිළියට මෙතරම් වියදමක් කර අලුත්වැඩියා කිරීම සාධාරණද යන්නයි.

මේ අතර, නගරයේ පොදු වැසිකිළි අලුත්වැඩියාවට හා අලුතින් ඉදි කිරීමට දැනටමත් කටයුතු යොදා ඇති බවත්, ඒ සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගන්නා බවද නගරාධිපතිනිය කියා සිටියාය.

රෝසිව හමුවෙන්න බැරි බව නාගරික මන්ත්‍රී කියයි

මේ අතර කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය හමුවීමට යන නාගරික මන්ත්‍රීවරුන් එළවා ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සමන් අබේගුණරත්න මහතා චෝදනා කළේය.

කොළඹ මහ නගර සභා රැස්වීමේදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මහජනතාව මුහුණ දෙන ගැටලුවක් සම්බන්ධව නගරාධිපතිනිය සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බවයි.

මෙහිදී අදහස් දැක්වූ රෝසි සේනානායක මහත්මිය සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 119ක් එකවර තමන්ට හමුවිය නොහැකි බවයි.

කලින් ඉල්ලීමක් කර තමන් හමුවට එන ලෙස ඇය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියාය.

Latest Video

Powered by Blogger.