ප්‍රසන්නගේ අප්‍රසන්න වැඩ....

අනුන්ගේ දරුවන්ට උප්පැන්න හදමින් නොසිට හැකි නම් පොරොන්දු වූ පරිදි ජනතා වෙනුවෙන් වැඩ කර පෙන්වන්නැයි තමන් යහපාලන ආණ්ඩුවට අභියෝග කරන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ පෙබරවාරි 10 වෙනිදා ගම්පහ උඩුගම්පොළ සතිපොළ බලහත්කාරයෙන් විවෘත කරමින් ප්‍රකාශ කළේය. එම සතිපොළ වෙනුවෙන් ලක්ෂ 500ක මුදලක් ඔහු බස්නාහිර මහ ඇමතිව සිටියදී එවක මධ්‍යම රජයෙන් වෙන් කර තිබුණද නිසියාකාරව එය ඉදි නොකෙරුණි. රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට මුල් වූයේ අනුන්ගේ දරුවන්ට උප්පැන්න දෙන්නට හපන් කොන්ද පණ නැති රැළක් බවද ඔහු එදා වැඩිදුරටත් පැවසුවේය. පසුගිය ආණ්ඩුව ඉදි කළ දේ තමන්ගේ වගේ විවෘත කරනවා හැර රටේ සංවර්ධනය උදෙසා කිසිදු වැඩක් කරන්නට බැරි බවද ඉන් නොනැවතී කීවේය.

ප්‍රසන්න කීවේ ඇත්තය. එය ඇත්තක් වීමට හේතු තිබේ. දහස් ගණනක මහජනතාවගේ පරිහරණය වෙනුවෙන් සති පොළක් මුළුමනින්ම හදන්න ගියේ ලක්ෂ 500කි. එහෙත් කුණුහරුප කියමින්, මරණ තර්ජනය කර කොළඹ පිහිටි එක ඉඩමකට පමණක් ප්‍රසන්න රණතුංග ලක්ෂ 640ක කප්පමක් ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා තිබේ. ඊට අදාළ මහාධිකරණ නඩු විභාගය අවසන් වරට පැවැත් වුණේ ඊයේය. නව රජයේ මූලිකම පොරොන්දුව වූවේ හොරු ඇල්ලීමය. අධිකරණය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රසන්නලා වැනි දේශපාලන කප්පම්කරුවන්ගේ අපරාධ පිළිබඳව ගාටමින් හෝ සොයමින් තිබේ. මහාධිකරණයේ නඩු පවරා සාක්ෂි මෙහෙයවමින් තිබේ. යහපාලන රජයද ගෙවුණු දශකයේ ගත් කප්පරක් ණය සහ දූෂණ අක්‍රමිකතා ගැන තවමත් සොයමින් සිටී. දූෂණ ඉහවහා ගිය භූමියක් පිරිසිදු නොකර සංවර්ධනය කළ නොහැකිය. මේ කල් ගතවෙමින් තිබෙන්නේ පැළ සිටුවීමට පෙර වල් නෙලීමේ කාළය බව පෙනෙයි. ප්‍රසන්නලාගේ අප්‍රසන්න කප්පම් ගැනීම් හා ඉකුත් දශකයේ කප්පරක් දූෂණ වංචා නොවන්න යහපාලනය නොවන වෙනත් රජයකට වුව මීට පෙර සංවර්ධනයන් එලෙසම ඉදිරියට ක්‍රියාත්මක කිරීම හෝ නව සංවර්ධනයන් වේගවත්ව කිරීමට ඉඩ ලැබෙනු ඇති බව නියතය.

ප්‍රසන්නගේ කප්පම් ඉල්ලීම

ලක්ෂ 640ක මුදලක් කප්පම් ලෙස ලබා දෙන්නැයි බල කරමින් විත්තිකාර බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග විසින් තමා සමඟ පැවැත්වූ සංවාද රහසිගත ආකාරයෙන් සිය 'ටැබ්' යන්ත්‍රය යොදාගෙන පටිගත කළ බවත්, එම පටිගත කිරීම් සංයුක්ත තැටි 6කට ඇතුළත් කර පොලිසියට භාර දුන් බව ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් ඊයේ (15දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය. මෙන්ඩිස් විසින් මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව එහි පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම නිරවුල් කරදීම සඳහා රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ බිරිඳ මොරීන් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කරන ලදී. කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න ඉදිරියේ නඩු විභාගය කැඳවූ අතර පැමිණිල්ල මෙහෙයවමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ පෙනී සිටින ලදී. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් විත්තිකාර ප්‍රසන්න රණතුංග විසින් තර්ජනය කරනු ලැබ ඉල්ලා සිටි මුදල් වෙනුවෙන් තමා පොරොන්දු නෝට්ටු 5කට ප්‍රසන්න රණතුංගගේ නිවසේදී අස්සන් කර ලබා දුන් බවද ප්‍රකාශ කරන ලදී. එහිදී සිදු වූ සංවාද සියල්ලම ව්‍යාපාරිකයා විසින් සිය ටැබ් පරිගණකය මගින් රහසිගතව පටිගත කර සංයුක්ත තැටි 6ක් මගින් පොලීසියට භාර දී තිබේ.

උසාවියේදී හඬපට වාදනය කරයි

ව්‍යාපාරිකයා පොලිසියට භාර දුන් එම සංයුක්ත තැටි 6 රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ විවෘත අධිකරණයේ පෙන්වා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු ලෙස එම ව්‍යාපාරිකයා විසින් ඒවා හඳුනාගන්නා ලදී. ඒ අනුව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විසින් මහාධිකරණ විනිසුරුවරියගේ අවසරය මත එක් සංයුක්ත තැටියක් විවෘත අධිකරණය තුළ වාදනය කරන ලදී. රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විසින් එම සංයුක්ත තැටියේ අන්තර්ගත වන්නේ ව්‍යාපාරිකයා විසින් පටිගත කරන ලද හඬද යන්න විමසා සිටි අතර එහිදී ව්‍යාපාරිකයා එම හඬ පටය තමන් විසින් පටිගත කරන ලද්දක් බවත්, එය ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා දුරකථනයෙන් කතා කර මුදල් ඉල්ලූ සංවාදයක් බවත් තහවුරු කරන ලදි. අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සංයුක්ත තැටි සියල්ල කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කර එහි විශේෂඥයන්ගේ වාර්තා ලබාගෙන ඇති බවටත්, එම විශේෂඥ සාක්ෂි ඉදිරියේදී කැඳවීමට අපේක්ෂා කරන බවත් අධිකරණයට දන්වන ලදී. එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම හඬ පටයන්හි අඩංගු සමහර වචන අපැහැදිලි ස්වභාවයක් පෙන්නුම් කරන බැවින් ඉදිරි නඩු විභාග අවස්ථාවකදී ඒ පිළිබඳව කරුණු දැක්වීමට අපේක්ෂා කරන බව දැනුම් දෙන ලදී. සංයුක්ත තැටි පිළිබඳ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මස 11 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කරන ලදී. මෙම නඩුවේ තුන්වන විත්තිකරු වන හරේන් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යෑමට අධිකරණය තීරණය කර තිබේ.

ප්‍රසන්නට ඇති චෝදනා

උක්ත නඩු විභාගයට අදාළ පැමිණිලිකරු හා සාක්ෂිකරු කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව එහි පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන් ඉවත් කර දීම සඳහා ලක්ෂ 640ක කප්පමක් ලබාගැනීම ඇතුළු අධි චෝදනා 15ක් මත නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංගට එරෙහි මෙම නඩුව පවරා තිබේ. එහිදී සාක්ෂි ලබාදෙමින් සිලිකන් ටෙක්නොලොජි නමැති පුද්ගලික සමාගමේ හිමිකරු ජෙරාඩ් මෙන්ඩිස් මෙම නඩු විභාගයට අදාළව ප්‍රධාන සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබා දේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග විසින් සිය බිරිඳගේ සොහොයුරා හරහා මෙම කප්පම් ලබා ගැනීම හා ගනුදෙනු කිරීම් සිදු කර තිබේ. ඒ අනුව සාක්ෂිකරු හා ඔහුගේ බිරිඳ විසින් සිය ජීවිත ආරක්ෂාව සහ එවක ඔවුන් පවත්වාගෙන ගිය රාජ්‍ය බලයේ අත්තනෝමතික තත්ත්වය ගැන සිතා චෙක්පත් 11ක් අත්සන් කර දුන් බවත් අධිකරණය හමුවේදී මීට පෙර ප්‍රකාශ කරන ලදී. මෙම කප්පම් ලබාගැනීම හා තර්ජනය කිරීම් සඳහා දායක වී ඇති බවට චෝදනා ලත් රණතුංග බිරිඳ මොරීන් ස්ටෙලා රණතුංග දිගින් දිගටම අධිකරණය හමුවේ පෙනී සිටි අතර තුන්වන විත්තිකරු වූ ඇයගේ සොහොයුරු හරේන් නමැත්තා නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 241 ප්‍රකාරව මෙම නඩුව විභාගයට ගනිමින් සිටී.

සාක්ෂිකරුගේ ප්‍රකාශය

මම පුද්ගලික සමාගමක විධායක අධ්‍යක්ෂවරයෙක්. සිලිකන් ටෙක්නොලොජි ආයතනයේ හිමිකරු මමයි. මගේ බිරිඳ එහි අධ්‍යක්ෂවරියක්. 1993 ඔක්තෝබර් මස ඇරඹපු මේ සමාගම අද දක්වා පිටකෝට්ටේ පවත්වාගෙන යනවා. තාක්ෂණික උපකරණ සම්බන්ධවයි මෙම සමාගම පවත්වන් යන්නේ. මම මේ නඩුවේ පළමු විත්තිකරු හා දෙවන විත්තිකාරිය හඳුනනවා. මේ ඉඩම් ගනුදෙනුව සිදුකිරීමට වසර තුන හතරකට කලින් මොවුන් හඳුනගත්තා. මේ ඉඩමට මම සම්බන්ධ වුණේ පැස්කුවල් නමැත්තාගේ වුවමනාව මතයි. ඉඩම මීතොටමුල්ල කොළොන්නාවේ පිහිටි අක්කර දෙකයි දශම දෙකක එකක්. 2013 මාර්තු 21 මෙම ඉඩම මම මිලට ගත්තේ අජිත් පැස්කුවල්ගෙන්. ඔහු මගේ ආයතනයේ වසර 13ක් කුළී පදනම මත රියදුරකු ලෙස සේවය කරපු කෙනෙක්. ඉඩමට ඇතුළු වන පාරේ පවුල් 23ක් අනවසරයෙන් පදිංචිව සිටියා. මේ වත්තෙ අයිතිකාරයෝ 21ක් සිටියා. එම 21 දෙනා සමඟ ඇති කර ගත් ගිවිසුමක් මත පැස්කුවල් මෙම ඉඩම ලියාගෙන තිබුණා. ඉඩමට ඇතුළු වන පාරේ පවුල් 23ක් අනවසරයෙන් පදිංචිව සිටියා. මම ඉඩම මිලට ගත්තත් භෞතිකව ඉඩමට ඇතුළුවීමට හැකියාවක් තිබුණේ නැහැ. පාරේ අනවසර පදිංචිකරුවන් 23 ඉවත් කර දෙන්න ප්‍රසන්න රණතුංග මහතාගේ සාකච්ඡාවකින් පසු අජිත් පැස්කුවල් නමැත්තා එකඟ වුණා. එම සාකච්ඡාව තිබුණේ කොල්ලුපිටියේ මහ ඇමැති නිල නිවසෙයි. වත්ත මිලට ගන්න මාස 6කට කලින් මේ සාකච්ඡාව තිබුණේ.

ප්‍රසන්නගෙන් ඉල්ලීමක්

මේ ඉඩමේ ගබඩා පර්යන්තයක් හදලා බස්නාහිර පළාත් සභාවට දෙන්න පළමු විත්තිකරුගේ ඉල්ලීම මත මා එකඟ වුණා. ගබඩා පර්යන්තයක් ඉදිකිරීම සම්බන්ධව සාකච්ඡා කරන්න මම නිතර සම්බන්ධ වුණේ නැහැ. නිතර මම සමඟ සම්බන්ධ වුණේ නඩුවේ තුන්වන විත්තිකරුයි. පළමු විත්තිකරු මේ ඉඩම තිබෙන තැනට සිව් වතාවක් පමණ පැමිණියා. පළමු විත්තිකරුගේ ඉල්ලීම මත ගබඩා සංකීර්ණයක් සාදන්න මා මුලින් හිතුවත් වැඩ පටන්ගන්න හදනකොටයි මම දන්නෙ ඒකෙ අඩි 22ක විතර මඩ තට්ටුවක් ඇති වගුරු බිමක් බව. ඒ වන විටත් මම මිලියන 9ක් විතර වත්තට වියදම් කළ නිසා අකමැත්තෙන් වුණත් මට ඒ ඉඩම ගන්න සිද්ධ වුණා. වුණු අලාභය පියව ගන්න වගුරු බිම ගොඩ කරන්න මම පියවර ගත්තා. ඒ අනුව ඒක ගොඩකිරීමේ නීත්‍යානුකූල අයිතිය මට ලැබුණා. අවුරුද්දක් ගියා ඉඩම පුරවන්න. ඉඩම පුරවන්න තනියම මමයි වියදම් කළේ. ඉඩම සම්පූර්ණයෙන් පුරවන්න මට මිලියන 90ක් ගියා. පළමු විත්තිකරු එවක මහ ඇමති විදියට කඩිනමින් ඉඩම පුරවා දෙන්න කියලා ලිපි දෙකක් එව්වා. 2015 ඉඩම පුරවල ඉවර කළේ. ඊට පස්සෙ මට ඉදිකිරීම් සිදු කරන්න බැරිවුණේ මූල්‍යමය වශයෙන් ප්‍රශ්න ආව නිසා. මේ ඉඩම මම 'ටෝකියෝ සිමෙන්ට්' නමැති සමාගමට විකුණුව 2015 අ‍ප්‍රියෙල් 07 වැනිදා.

ප්‍රසන්න කොමිස් බලෙන් ගනී

මේ ඉඩම විකුණන්න ගැනුම්කරුවන් සොයාගන්න මම උත්සාහ කළා. මොකද දිගින් දිගටම වත්තට වියදම් කරන්න මට බැරි වුණා. මම පළමු විත්තිකරුට කිව්වා ඉඩම විකුණන්න ඕන බව. පළමු විත්තිකරු ගුණරත්න කියන තැරැව්කරුවෙක් මට හඳුන්වලා දුන්නා. ටෝකියෝ සිමෙන්ති සමාගමට මේ ඉඩම මිලියන 204.8කට විකුණන්න තීරණය කළා. ඒ මුදල චෙක්පත් දෙකකින් ලැබුණා. ගුණරත්නට තැරැව් ගාස්තුව ලෙස සම්පූර්ණ විකුණුම් මුදලින් සියයට 3ක් ගෙව්වා. ඒකෙන් සියයට 50ක කොටස විකිණූ දිනම දුන්නා. ඉතිරියට මගේ ආයතනය නමින් වූ චෙක්පතක් ලබාදුන්නා. මට නිරවුල් සහතිකය දෙන්න පරක්කු වුණු නිසා එම සහතිකය ලබාගත් පසුවයි ගුණරත්නට සම්පූර්ණ මුදල ලබාදුන්නේ. තුන්වන විත්තිකරු මෙම ඉඩම විකුණන වෙලාවෙ ඇවිත් හිටියා. විකුණුම්කරයේදී සාක්කිකරුවකු ලෙස ඔහු අත්සන් කළා. ඉඩම විකුණපු 2015 අප්‍රේල් 07 වෙනිදම මාව ප්‍රසන්න රණතුංගට හමුවෙන්න ඕන කියලා තුන්වන විත්තිකරු කිව්වා. හිටපු මහ ඇමැති නිල නිවසට චෙක් පොතක් අරන් එන්න කිව්වා. 2015 අප්‍රේල් 10 තුන්වන විත්තිකරු දුරකථනයෙන් මට කතා කරල හිටපු මහ ඇමැති නිල නිවසට චෙක් පොතක් අරන් එන්න කිව්වා. ගුණරත්න හඳුන්වල දුන්නෙ මහ ඇමැති නිසා ඔහු මට කතා කර කිව්වා ගුණරත්නට 'කමිෂන්' එක දෙන්න කියල. 2015. අප්‍රේල් 10 වෙනකොට ගුණරත්න යන අයගේ තැරැව් ගාස්තු සම්පූර්ණයෙන් ගෙවලා තිබුණේ නැහැ.මගේ චෙක් එකක් දෙන්න මගේ හා බිරිඳගේ අත්සන් දෙකම ඕන නිසා ගුණරත්නගේ ගාණ විතරක් නම් මම ලියන් එන්නම් කිව්වා. නැහැ මෙහාට ඇවිත් ලියමු කිව්වා. ඒ නිසා මම එදා බිරිඳවත් අරන් මහ ඇමතිගෙ නිවසට ගියා. ඉඩමෙ විකුණුම් මිලෙන් සියයට 31ක් ගණන් හදල ගාණ කිව්වා. ඒ අනුව මිලියන 64ක් විතර ගාණක් ආවා. ඒකෙන් සියයට 3ක් ගුණරත්නට දෙන්න කිව්වා. ඉතිරිය ප්‍රසන්න රණතුංගගේ බිරිඳගේ නමට ලියන්න කිව්වා. එහි දෙවන විත්තිකාරිය වූ ප්‍රසන්න රණතුංගගේ බිරිඳත් සිටියා. මෙය සිදු වුණේ නිල නිවසේ සාලයේදීයි. මගේ බිරිඳ, ප්‍රසන්න රණතුංග , ඔහුගේ බිරිඳ හා මගේ බිරි‍ඳගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක් මේ වෙලාවෙ සාලයේ සිටියා. මම සාලයේ වාඩිවෙලා ඉන්නකොට තුන්වන විත්තිකරු කිව්වා චෙක් පොත අරන් කෑම කන මේසෙට එන්න චෙක් ලියන්න කියල. ඉඩමෙ ගනුදෙනුව ඉවරයි. දැන් ගණන් හිලව් ඉවර කරන්න කියල පළමු විත්තිකරු කිව්වා. මමයි බිරිඳයි චෙක්පොත අරන් කෑම කන මේසයේ වාඩි වුණා. තුන්වන විත්තිකරු තමයි ගණන් ටික හැදුවෙ. මේ වෙලාවෙ මගේ ගිණුමෙ සල්ලි නැහැ කියල පැවසූ විට පළමු විත්තිකරු පැවසුව ඒ ගැන කලබල වෙන්න එපා පස්සෙ දාන්න කිව්වා. පළමු විත්තිකරු කිව්ව මට මුදල් නැති බව අදාළ නැහැ හරේන් කියන විදිහට චෙක් ලියන්න කියලා කිව්වා. මගේත් බිරිඳගේත් ආරක්ෂාව ගැන හිතලා හොඳම දේ මම කළා. එදා මම චෙක්පත් 11ක් ලිව්වා. මිලියන 5ක චෙක්පතක් එදිනට මාරුකරගන්න මුදල් චෙක්පතක් ලෙස ලබාදුන්නා. ඉතිරි චෙක්පත්වලට ඉදිරි දින දමා තිබුණ. මේ චෙක්පත් 11ම භාරගත්තේ තුන්වන විත්තිකරුයි. මේ සියලු ‍ගනුදෙනු සිදු කළේ තුන්වන විත්තිකරුයි.

ප්‍රසන්නගෙන් තර්ජන

මම දෙවැනි පාරටත් බිරිඳ එක්ක පළමු විත්තිකරු හමුවන්න ගියා. එවිට සිටියේ පළමු විත්තිකරු හා තුන්වන විත්තිකරු පමණයි. මේ ගණන් ගැන නැවත කතා කළා. එහෙම කියද්දි ගනුදෙනුව ඉවරයි මේක ගෙවන්න කිව්වා. ඒ දෙවනපාර හමුවුණු අවස්ථාව මම පටිගත කිරීමක් කළා. එදා මට මුලින් එන්න කිව්වෙ නිල නිවසට මම කැමැති වුණේ නැහැ. පසුව ශ්‍රාවස්තියට ගියා. ඒ ඔහුගේ රාජකාරි ස්ථානය. එහි තුන්වන විත්තිකරුත් සිටිය. ආරක්ෂක හේතු මත මගේ ජංගම දුරකථනය ගත්තා. මම නීති උපදෙස් ලබා තිබුණ නිසා ටැබ් යන්ත්‍රය මගේ බිරිඳගේ අත් බෑගයේ දාගෙන ගියා. ඒකෙන් සියලු සංවාද පටිගත කළා. එදා ආපහු ඇවිත් මගේ සාමාන්‍යාධිකාරි විදියට සේවය කරපු මේජර් විමල් යන අය අත චෙක්පත් 8ක් හෝ 09ක් යැව්වා. ඊට පසුව මට පළමු විත්තිකරු දුරකථනයෙන් කතා කළා. මේ චෙක් දාන්න පුළුවන් ද ඇහැව්වා. පසුව ඔහු හමුවන්න එන ලෙස ඉල්ලීමක් කළා. මම නිල නිවසට ගියාම තමුසෙත් එක්ක මීට පස්සෙ ඩීල් කරන්නෙ මම නොවෙයි. කළු මල්ලි කිව්ව. කළු මල්ලි තමුසෙත් එක්ක ගනුදෙනු කරයි. චෙක්වලට හරියන්න පොරොන්දු නෝට්ටු කිසිම නමක් ගමක් නැතුව ලියන්න කිව්වා. එ‍වෙලේ හිටියේ පළමු විත්තිකරු විතරයි. දෙවැනි විත්තිකාරිය ආවෙ ඊට පැය බාගයකට විතර පස්සෙ. කළු මල්ලි කියන අයට මට කතා කරන්න සලස්වා දුන්නා. පළමු විත්තිකරු ඉතාමත් තර්ජනාත්මක ස්වරූපයෙන් මට කතා කළේ. මට වුවමනා වුණේ පළමු විත්තිකරු හා ඔහුගේ ආරක්ෂක නිලධාරීන් මගේ පවුලේ අය ඉදිරියට ඒම වැළැක්වීමයි. දෙවන වර දුන් චෙක්වලට අදාළව පොරොන්දු නෝට්ටු ලියල දුන්නා. සාක්ෂිකරු ලෙස තමුසෙ අත්සන් කරන්න කියල මා එක්ක ගිය විමල්ට පළමු විත්තිකරු පැවසුවා. ඒ අනුව අපි දෙන්නම අත්සන් කළා. දිගින් දිගටම පිස්තෝල එක්ක මිනිස්සු මගේ ගෙදරටයි කාර්යාලයටයි එව්වා තර්ජන එක්ක.

ප්‍රසන්නලාගේ අප්‍රසන්නකම

සාක්ෂිකරුවන් මේ සියලුම සාක්ෂි ප්‍රකාශ කළේ විවෘත අධිකරණය තුළදීය. විනිසුරුවරයා හා නීතිඥයන්ද මේවා පිළිබඳව හරස් ප්‍රශ්න ද විමසන ලදී. ප්‍රසන්න රණතුංග සම්බන්ධව ඇති එකම චෝදනාවද මෙය නොවේ. බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම්, රජයේ වාහනවලට අලාභහානි කිරීම් හා පහරදීම් චෝදනා කප්පරක් තිබේ. ප්‍රසන්නලා දැන් මලෙන් ඉපදුණු ලෙස අප්‍රසන්න කතා කියමින් ප්‍රසන්න වන්නට උත්සාහ ගනිමින් සිටී. මඩෙන් උපන් නෙළුම් පෙන්වා ප්‍රසන්නලා අද කතා කළාට මඩෙන් උපන් ප්‍රසන්නලාගේ මඩ වැඩ නෙළුම් තරම් පිරිසිදු නොවේ. ඔවුන් මහජනතාව තවදුරටත් රවටමින් හා අසත්‍ය සත්‍ය කරමින් බොරු ආටෝප අටෝරාශියක් කියවමින් බලය ඉල්ලන්නේ තවදුරටත් කප්පම් ගන්නත්, රාජ්‍ය බලයෙන් තරවන්නත් බව උක්ත සාක්ෂි ප්‍රමාණවත්ය.

[කසුන් පුස්සෙවෙල | www.Resa.lk]

Info Sri Lanka TV

Powered by Blogger.