ශ්‍රී ලංකා - සිංගප්පූරු වෙළඳ ගිවිසුම පාර්ලිමේන්තුවට : වෘත්තීයවේදීන් දැඩි මතයක.


සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළඳ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති වාස්තු විද්‍යාඥ ඩී. එච්. විජේවර්ධන මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේවර්ධන මහතා මෙම ගිවිසුම මෙරට වෘත්තීයවේදීන්ගේ නිසි ඇගයීමකින් තොරව අත්සන් තැබීම නිසා අඩු සුදුසුකම් සහිත විදෙස් වෘත්තිකයින්ට ලංකාවේ වැඩ කිරීමට හැකියාව ලැබෙන බව පෙන්වා දෙන ලදී.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මැයි 9 දින ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ පැවති මාධ්‍ය සාකච්ඡාව අමතමිනි. මෙම අවස්ථාව සඳහා වෘත්තීයවේදී සංගම් 06ක ප්‍රධානීන් එක්ව සිටියහ. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනය , ශ්‍රී ලංකා සංස්ථාපිත ඉංජිනේරුවන්ගේ ආයතනය,  ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා නගර සැලසුම් ශිල්පීන්ගේ ආයතනය , ශ්‍රී ලංකා භූ සැලසුම් ශිල්පීන්ගේ ආයතනය එම ආයතන වේ.
මෙම අවස්ථාවට සහභාගී වූ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය ඉංජිනේරු නිරංජනී රත්නායක මහත්මිය අදහස් දක්වමින් “ නිදහස් වෙළඳ ගිවිසුම් සැකසීමේදී ලෝක වෙළඳ සංවිධානය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශනයක් තිබෙනවා. අපි අරන් බැලඅවොත් සිංගප්පූරුව පාර්ශවයෙන් මෙම ගිවිසුම සංශෝධනය කිරීම් පිටු 07 ක් පමණ දීර්ඝ වෙනවා. ඒක බැලුවහම අපිට පේන දෙයක් තමයි ඔවුන් මේ සඳහා වෘත්තීයවේදීන්ගේ උපදෙස් ලබාගෙන ඇති බව. නමුත් ලංකාවේ සංශෝධන අරන් බැලුවොත් පිටු 02ක් පමණයි තියෙන්නේ. මේකෙන් පෙනී යන දේ තමයි මේ ගිවිසුම ගැන නිසි අධ්‍යනයක් ලංකාව පාර්ශවයෙන් සිදුවෙලා නැති බව. ” ප්‍රකාශ කළාය.

මෙහිදී අනුගමනය කර ඇති විනිවිදභාවයක් නොමැති මෙම කාර්ය පටිපාටිය සියලූ වෘත්තීයවේදී සංවිධාන විසින් හෙලා දකිනු ලබන අතර එය මෙරට වෘත්තීයවේදීන්ට සහ ජනතාවට කරන ලද මහත් අවමානයක් ලෙස සලකනු ලැබේ. එබැවින් ශ‍්‍රී ලංකා - සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපක් කර ජාතික යහපත ආරක්ෂා කරමින් තිරසර සංවර්ධනයක් ළ`ගා කර ගැනීම පිණිස එක`ගවී ඇති සංශෝධන කඩිනමින් සිදු කර මෙම මූලික අවශ්‍යකතාවන් සම්පූර්ණ කරන තුරු අනෙකුත් සියලූ නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ක‍්‍රියාමාර්ග අත්හිටුවා තබන ලෙසට ශ‍්‍රී ලංකාවේ වෘත්තීයවේදීන්ගේ ආයතන නියෝජනය කරන අපි දැඩි ලෙස ඉල්ලා සිටින්නෙමු.    
     

නිසි හැකියාවන් නොමැති විදේශීය වෘත්තිකයින් මෙරටට පැමිණ සිය වෘත්තීන්හි යෙදෙමින් දේශීය වෘත්තිකයින් නිරත විය යුතු රැකියාවන්හි නිරතවීම වැළැක්වීම සහතික කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා සහ දේශීය වෘත්තිකයින් සඳහා නව රැකියා අවස්ථා නිර්මාණය කෙරෙන බව සහතික කර ගැනීම සඳහා අවශ්‍ය දේශීය යාන්ත‍්‍රණ සකස් කර වෘත්තීයවේදී සංවිධාන ශක්තිමත් කෙරෙන තුරු සහ එසේ නොකෙරෙන්නේ නම් සේවා අංශයෙහි සීමා විවෘත කෙරෙන නිදහස් වෙළඳ ගිවිසුම් ක‍්‍රියාත්මක නොකළ යුතු බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා සහ වෘත්තීයවේදී සංවිධාන අතර පවත්වන ලද සාකච්ඡා කිහිපයෙහිදී උදක්ම ප‍්‍රකාශ කරන ලදී. අදාළ පාර්ශවකරුවන්ගේ දායකත්වය ලබා ගෙන ජාතික වෙළඳ ප‍්‍රතිපත්තියක් ප‍්‍රකාශනය කළ යුතු බව සහ, විශේෂිත වෘත්තීන් සම්බන්ධයෙන් ගත් කළ රටට සහ ජනතාවට ප‍්‍රතිලාභ අත්වන්නේ කෙසේද යන්න පෙන්නුම් කරමින් එම වෘත්තීන් ද්වීපාර්ශ්වික වෙළඳ ගිවිසුම් සඳහා ඉදිරිපත් කළ යුතු බව ද වෘත්තීයවේදීන් දැඩි ලෙස ප‍්‍රකාශ කළහ.        

Info Sri Lanka TV

Powered by Blogger.