Ad
Ad

ගෝඨාභය ‘ජමියතුල්ලා උලමා’ හමුවෙයි.


ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගිය 14දා ජමියතුල්ලා උලමා සංවිධානයේ නායකයන් හමුවී පැය දෙකක පමණ කාලයක් සාකච්ඡා කොට තිබේ.

රටේ ප්‍රධාන ආගම පිළිබඳවත්, මේ මොහොතේ මුස්ලිම්වරුන්ට උද්ගත වී ඇති ප්‍රශ්න පිළිබඳවත්, බොදුබල සේනාව වැනි සංවිධානවල ක්‍රියාකාරකම් පිළිබඳවත් පසුගියදා තෙල්දෙණිය ප්‍රදේශයේ ඇතිවූ සිද්ධීන් පිළිබඳවත් ජමියතුල්ලා උලමා සංවිධානයේ නායක රිස්වි මුප්ති සහ එහි ප්‍රධාන ලේකම් එම්.එම්. මුබරක් යන මුස්ලිම් ආගමික නායකයන් සමඟ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මෙසේ සාකච්ඡා කර තිබේ.

බොදුබල සේනා සංවිධානය කාත් සමඟද?

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත්තේ බොදුබල සේනා සංවිධානය සමඟ තමාගේ කිසිදු සබඳතාවක් නැති බවත්, එම සංවිධානයේ ආරම්භක අවස්ථාවට තමා සහභාගි වූයේ කිරම විමලජෝති හිමියන්ගේ ඉල්ලීමකට බවත්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ දෙනකු වැරැදි වැටහීමක සිටි බවත්, සත්‍ය ලෙසම බොදුබල සේනා සංවිධානය සිටින්නේ කාත් සමඟද යන්න වර්තමානයේ හොඳින් පෙනෙන්නට තිබෙන බවත් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත.

පවුලේ විරසකයක් !

මෙම සාකච්ඡාවේදී ජමියතුල්ලා උලමා සංවිධානයේ නායකයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් විමසා ඇත්තේ ඔබ හා ඔබේ පවුලේ සාමාජිකයන් අතර විරසකයක් පවතිනවාද යන්නය.

එයට පිළිතුරු ලබා දෙමින් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ තම පවුලේ සාමාජිකයන් සමඟ කිසිදු විරසකයක් නැති බව හා තම පියා පවසා තිබෙන ආකාරයට පවුලේ ඥාතීන් ශක්තිමත්ව සිටින තුරු පවුලේ ශක්තිය බිඳවැට්ටවීමට කිසිදු බලවේගයකට හැකියාවක් නැතැයි යන න්‍යාය අනුව තමා කටයුතු කරන බවයි.

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද යන පැනයද මෙම සාකච්ඡාවේදී මුස්ලිම් නායකයන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් අසා ඇති අතර ඊට පිළිතුරු ලෙස ඔහු පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයකට තමා තවමත් පැමිණ නොමැති බවයි.

(මව්බිම)

Powered by Blogger.