‘‘2016/17 වසර වලදී නිවාස 2,270 ක් ජනතා අයිතියට’’




2016/17 වසර වලදී නිවාස 2,270 ක් ජනතා අයිතියට ලබා දී ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද(22) දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘ග‍්‍රාමීය දුප්පත්කම හා නිවාස ගැටළුව පිලිබඳව බොහෝ දුරට සාකච්ඡා උවත් කොළඹ නගරයේ ප‍්‍රභල ගැටළුවක් වූ පැල්පත් ප‍්‍රශ්නය පිළිබඳව විටින් විට විවිධ ආණ්ඩු මගින් විවිධ පියවර ගත්තත් එම ගැටළුව විසඳීමට කිසිවෙකු සමත් වූයේ නැත. මුල් කාලයේ පැල්පත්වාසීන් වෙනුවෙන් සර් ඔලිවර් ගුණතිලක මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ නිවාස ඉදිකරනු ලැබුවේ වරායේ කම්කරුවන් ඉලක්ක කර ගනිමින්. ඉන්පසු කොළඹ පැල්පත්වාසීන් ගැන අවධානය යොමු කරනු ලැබුවේ 1970න් පසු බිහි වූ රජයන් ය. පීටර් කෙනමන් මැතිතුමා, රණසිංහ පේ‍්‍රමදාස අගමැති සහ ජනාධිපති අවධියේ දී සිරිසේන කුරේ යන මහත්වරුන් මෙම පැල්පත් නිවාස සංවර්ධනය කිරීම සඳහා විවිධ පියවර ගනු ලැබුවා. ඒ අතර ඔවුන් දැනට ජීවත් වූ නිවාස දියුණු කර ඔප්පු ලබාදීම වගේම නාගරික සංවර්ධන අධිකාරිය හා නිවාස සංවර්ධන අධිකාරිය එක්ව නිවාස ඉදිකර දීම යන වැඩපිළිවෙලයි. ඒ අනුව නිවාස 1,600ක් පමණ ඉදිකර දී තිබුණා. ඉන් අනතුරුව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිණිය සහස්පුර වැනි ව්‍යාපෘති මගින් මෙම ගැටළුව සඳහා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම මෑත කාලයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ව්‍යාපෘති 16 ක් දියත් කරමින් පැල්පත්වාසින් වෙනුවෙන්  නිවාස 50,000 ක් ඉදිකිරීමේ වැඩ පිිළිවෙල ආරම්භ කරනු ලැබුවා. ඒ සඳහා රුපියල් බිලියන 200 කට අධික මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තිබුණත් රුපියල් බිලියන 100 කින් එම ව්‍යාපෘති ආරම්භ කරනු ලැබුවා. නමුත් පැල්පත්වාසීන්ගේ ඉඩම් නිදහස් කර ගැනීම, ඔවුන් නිවාස වලින් වෙනත් තැන් සඳහා විතැන් කිරීමට යුධ හමුදාව යොදවා ගනිමින් කටයුතු කළ අතර එකල කොන්ත‍්‍රාත් කරුවන් විසින් තම වගකීම නිසි අයුරින් ඉටු නොකළ අතර එම වැඩපිළිවෙලේ අවිධිමත් භාවයක් තිබුණි.

2016 නව ප‍්‍රවේශයක් යටතේ එම පැරණි ව්‍යාපෘති 12ක් අප යටතට භාර ගෙන විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ එම ගැටළුව වෙත ප‍්‍රවේශ වෙමින් පැල්පත් නිවාස ගැටළුව විසඳීම අප ආරම්භ කරනු ලැබුවා. මේ වන විට කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් මිලියන 39,000 ක් ගෙවීමට සිදු වූයේ අපටයි. මෙම වසරේ දී රුපියල් බිලියන 1.3 කින් නිවාස 21,077 ක් හදන්න අපි වැඩ ආරම්භ කර තිබෙනවා. මේ වන විට මෙම වැඩපිළිවෙල සඳහා කිසිම චෝදනාවක් ගැටළුවක් නොමැතිව ඉතාම සාමකාමීව වෘත්තීය මට්ටමින් කි‍්‍රයාත්මක වෙමින් පවතිනවා. මෙම ව්‍යාපෘතියට සමගාමීව සිදුවන තවත් දැවැන්ත ව්‍යාපෘතියක් වන්නේ උප නගර 5 ක් කොළඹ නගරය තුළ සැලසුම් වීමයි. උතුරු කොළඹ හේනමුල්ල ප‍්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් එක් උපනගරයක් ද, මැද කොළඹ මාලිගාවත්ත, බොරැුල්ල දෙමටගොඩ, කොලොන්නාව, නැගෙනහිර කොළඹ ආදී ප‍්‍රදේශවල මෙම උපනගර නිර්මාණය කෙරේ.

ඒ වගේම 2016/17 වර්ෂවලදී නිවාස 2,270 ක් ජනතාවට මේ වන විටත් උරුම කර දී හමාරයි. අප රටට ණය නොවී ස්ව ශක්තියෙන් නැගී සිට මෙම දැවැන්ත ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන අතර භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට කටයුතු කරන්නේ නැහැ. එසේම පසුගිය සංවර්ධන කටයුතු විවේචනය කරමින් අපි ඒවා ඉවත නොදමා විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යටතේ ඉදිරියට කි‍්‍රයාත්මක කිරිමට අප කටයුතු කර තිබෙනවා. කොළඹ පැල්පත්වාසීන් සඳහා නිවාස 20,000 ක් මේ වන විට ඉදිවෙමින් පවතින අතර ඉතිරි 30,000 සඳහා මේ වන විට අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයින් කැඳවා රජයට බරක් නොවී කි‍්‍රයාත්මක කිරීම සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙල යටතේ විශේෂයෙන් නිවසක් වෙනුවට ජීවිතයක් යන පරම චේතනාවෙන් තම සමාජ පරිසරය සමග අලූත් ජීවිතයක් සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම ද අප සිදු කරනවා. ඒ අනුව නැන දිරිය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හා පුද්ගල සංවර්ධනය හා ආකල්ප දියුණු කරන අතර රිද්ම සැරිය මගින් මහල් නිවාසවාසී දරු දැරියන්ගේ කලා කුසලතා ඔප් නැංවීට කටයුතු කරනවා. ඒ වගේම ජවයට දිරිය වැඩසටහන මගින් තරුණ තරුණියන් වෘත්තීය පුහුණු ක්‍ෂෙත‍්‍රයට යොමු කිරීමත් දිවි දිරිය වැඩසටහන මගින් මහල් නිවාසයන් හි වාසය කරන ජනතාවගේ ආර්ථිකමය ශක්තිය වර්ධනය කිරීම සඳහා ස්වයං රැකියා පුහුණු වැඩසටහනක් ද ආරම්භ කර ඇත. ඒ වගේම මෙම මහල් නිවාස සංකීර්ණ වටා ඉදිකෙරෙන උප නගරයන් හි ආගමික ස්ථාන, පාසල් ක‍්‍රීඩා සංකීර්ණ ආදී ජනතාවාදී සංවර්ධනයන් ද සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම මෙම නිවාස ව්‍යාපෘතීන් තුළ නිවාස හිමිකම දේශපාලන හිතවත්කම් මත, දැන හැඳුනුම්කම් මත  හෝ කිසිම කෙනෙකුගේ බලපෑම් මත ලබාදීමට කටයුතු කරන්නේ නැහැ යැයි ද පැවසීය.

Info Sri Lanka TV

Powered by Blogger.