තෙල්දෙණියේ අලුත්ම රෝහලට අංශබාගෙ හැදිලා.

රුපියල් කෝටි 80කට අධික මුදලක් වැයකරමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවන සමයේ මුල්ගල තබා “ජයිකා” ආධාර යටතේ තෙල්දෙණිය නගරයේ ඉදිකළ මහල් හතරකින් යුත් අංගසම්පූර්ණ නව රෝහල් සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් විසින් උත්සවශ්‍රීයෙන් විවෘත කර වසරක් ගත වී ඇතත් එහි ශල්‍යාගාර තුනම සහ ලේ බැංකුවද වසා දමා තිබේ.

මහියංගණයේ සිට තෙල්දෙණිය, දිගන, කොක්ගල අවට ගම්මාන 100කට වඩා ජනතාවට මූලික සෞඛ්‍ය සේවාවන් සපයා දියහැකි තත්ත්වයට සියලු නවීන පහසුකම් සහ අංශ එක්කොට මෙම නව සිව්මහල් රෝහල් සංකීර්ණය ඉදිකර ඇතත් එයට අත්‍යාවශ්‍ය වූ වෛද්‍ය කාර්ය මණ්ඩල හිඟය සහ අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් පත් නොකිරීම හේතුවෙන් එම රෝහල් ගොඩනැගිල්ල සුදු අලියකු බවට පත්ව තිබෙන බව තෙල්දෙණිය මූලික රෝහලේ රෝහල් කමිටු නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය පවසයි.

වෛද්‍යවරුන් 85ක අවශ්‍යතාව තිබුණද දැනට මෙහි සිටිනුයේ වෛද්‍යවරැන් 21 දෙනෙකි. විශේෂඥ වෛද්‍යවරුන් 11ක් අවශ්‍ය වන නමුදු දැනට සිටිනුයේ තිදෙනෙකු පමණි. හෙදියන් 300ක් අවශ්‍ය වන නමුත් මුළු රෝහල් පද්ධතියටම සේවය සඳහා සිටින්නේ හෙදියන් 53 බව රෝහල් කමිටුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.

නව ශල්‍යාගාර තුනම වසා ඇත්තේ ශල්‍ය වෛද්‍යවරුන් සහ නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති නිසාය. ප්‍රසව හා නාරි ශල්‍ය වෛද්‍ය විශේෂඥයකු නොමැතිකම නිසා සිසේරියන් සැත්කම් සිදුකිරීමට වුවහොත් ගැබිණි මව්වරුන් නුවර රෝහල වෙත යැවීමට සිදුව තිබේ. ලේ බැංකුව වසා දමා ඇත්තේ අවශ්‍ය කාර්ය මණ්ඩල හිඟය නිසාය.

මෙම රෝහලේ සුළු සේවා පරිපාලකවරයෙකු නැත. එකී තනතුරේ වැඩ බැලීමට පත්කර ඇත්තේ නිසි ස්ථිර පත්වීමක් නොමැති ජ්‍යෙෂ්ඨ සුළු සේවිකාවක් බවද රෝහල් කමිටු නිලධාරීහු පැවසූහ.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයට 200ක් අවශ්‍ය වී ඇතත් දැනට මුළු රෝහලටම සේවය සඳහා සිටින්නේ 45 දෙනකු බව රෝහල් පරිපාලනය පවසයි. රෝහලට පරිපාලන හෙදි නිලධාරිනියට මේට්‍රන්වරියන් දෙදෙනෙකුගේ අවශ්‍යතාව ඇතත් එක මේට්‍රන්වරියක් හෝ නැති බවද හෙළිවිය.

නව රෝහල් ගොඩනැගිල්ලේ රසායනාගාර විකිරණ අංශය (එක්ස්-රේ අංශය) සහ භෞතික චිකිත්සක අංශය රෝගී සේවාවක් පවත්වාගෙන යනු ලබයි. අධිකරණ වෛද්‍ය නිලධාරියා සේවයේ යෙදී සිටියි.

අති විශාල මුදලක් වැයකර ඉදිකරන ලද මෙම නව සුපිරි සිව්මහල් රෝහල් සංකීර්ණයට අවශ්‍ය සියලු වෛද්‍ය උපකරණ ශල්‍ය උපකරණ සපයා දී ඇතත් ශල්‍ය වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරුන් අත්‍යාවශ්‍ය අනෙකුත් අතුරු වෛද්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු සඳහා අවශ්‍ය පිරිස් පත් නොකිරීම නිසා මෙම රෝහල, ජනතාවගේ ප්‍රයෝජනයට ගතනොහැකි තත්ත්වයට පත්ව තිබීම පිළිබඳව තෙල්දෙණියේ ජනතාවද රෝහලේ කාර්ය මණ්ඩයද, රෝහල් කමිටු නිලධාරීහුද දැඩි කනස්සල්ලෙන් පසුවෙති.

මහනුවර මහියංගන ප්‍රධාන මහා මාර්ගය ආසන්නයේ පිහිටි මෙම රෝහලෙන් ජනතාව අපේක්ෂා කරන්නා වූ සේවාව ලැබෙන්නේ නැතැයිද රජය අපේක්ෂා කළ පරිදි ජනතාව වෙත සතුටුදායක සෞඛ්‍ය සේවාවක් ලබාදීමට නොහැකි වී ඇතැයි ද ප්‍රදේශයේ ජනතාව පවසති. මෙම රෝහලේ පවතින උග්‍ර කාර්ය මණ්ඩල අඩුපාඩු සම්බන්ධව මහජන නියෝජිතයන් මධ්‍යම පළාත් සභාව තුළදී ද මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද වරින් වර අදාළ වගකිවයුත්තන්ගේ දැන ගැනීම සඳහා යොමුකර ඇත. 

(ජේ.ඒ.එල්. ජයසිංහ)

Info Sri Lanka TV

Powered by Blogger.