Ad

ශ්‍රීලනිප මහ ලේකම් ධුරය කල්ලිවලට නැති ජ්‍යෙෂ්ඨයකුට ?


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරය පක්ෂයේ කල්ලි කණ්ඩායම් වලට සම්බන්ධයක් නැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වෙත තාවකාලිකව පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදුන් අනුමැතියට අනුව එම පත්කිරීම සිදුකරන බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පසුගිය 17දා රාත්‍රියේදී රැස්වූ ශ්‍රීලනිප මධ්‍යමකාරක සභාවේදී  ලබන 03වනදා මධ්‍යම කාරක සභාව හා සමස්ත ලංකා කාරක සභාව කැඳවා තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමට ද තීරණය කර තිබේ. 

පක්ෂයේ ඉදිරි කටයුතු පුර්ණ එකඟත්වය මත සිදුකල යුතු බවත් එහෙයින් පක්ෂයේ තනතුරු සඳහා ඡන්ද විමසීම් සිදුකිරීම නොකළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත.

ඒ අනුව තාවකාලික නිලධාරී මණ්ඩලය පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරීමට මාධ්‍ය කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

'ශ්‍රීලනිප නිලධාරි මණ්ඩලය වෙනස් කරන්නේ කල්ලි කිහිපයක් පක්ෂයේ ඉන්න නිසයි' - ශ්‍රීලනිප මහ ලේකම් 

මේ අතර තඹුත්තේගමදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පැවසුයේ, ලබන අගෝස්තු මස 30 වැනිදා වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිදු කිරීමට යෝජිත පූර්ණ ප්‍රතිසංවිධානයෙන් පසු ස්ථිර වශයෙන්ම නව නිලධාරි මණ්ඩලයක් පත් කිරීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

''මධ්‍යම කාරක සභාව වෙනදා ආකාරයටම රැස්වුණා. එහිදී පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ අනුව ලබන අගෝස්තු 30 වැනිදා වන විට දිවයින පුරාම පක්‍ෂ ශාඛා සමිති, ආසන බල මණ්ඩල, දිස්ත්‍රික් බල මණ්ඩල, සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනෙකුත් සංවිධාන සියල්ලම පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදුකොට සැප්තැම්බර් 02 වැනිදා වන විට පක්‍ෂ සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීමට පක්‍ෂ විධායක සභා රැස්වීමේදී සාකච්ඡා කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අය විදියට අපි කටයුතු කළාට පක්‍ෂයේ නිලතල දරන කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ විරුද්ධ පක්‍ෂයේ අසුන් ගෙන සිටිනවා. 

ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ යැයි කියා ගනිමින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට ශක්තිය ලබාදුන් සහ එහි වේදිකාවට ගොඩවැදුණු සහ මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය නොකරන පිරිසක් පක්‍ෂයේ නිලධාරි මණ්ඩලයේ සිටිනවා.

එම නිසා එවැනි නිලධාරි මණ්ඩලයක් සමඟ පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමට හැකියාවක් නෑ. ඒ අනුව තාවකාලික නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට අපි සූදානම් වෙනවා. 

අනතුරුව පූර්ණ ප්‍රතිසංවිධානයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ස්ථිරව නිලධාරි මණ්ඩලයක් පත්කර ගැනීමට නියමිතයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැති වෙයි කියලා බොහෝ පිරිසක් ඉතිහාසයේදීත් බලා සිටියා. නමුත් මේ පක්‍ෂය නැති වුණේ නෑ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කඩාගෙන ගිය ඇතැම් කණ්ඩායම් ආපසු ඇවිත් පක්‍ෂයට සම්බන්ධ වුණා.

හදිසියේම ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුවූ කාරණාව ?

ආණ්ඩුව නියෝජනය කළ ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු දහසය දෙනෙක් පසුගිය මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් වුණා.

ඇතැම් අයට පෞද්ගලිකව නොයකුත් සිතුම් පැතුම් සහ බලාපොරොත්තු තිබිය හැකියි. සමහර මැති ඇමැතිවරුන් අවුරුදු දෙකහමාරක් තුනක් ආණ්ඩුවේ කටයුතු කරන අතරතුර පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයත් සමඟ තම අනාගත දේශපාලන ගමන ගැන හිතුවද දන්නේ නෑ. ඒ නිසා එවැනි තීන්දුවක් ගැනීමට හේතුව මොකක්ද කියලා ඒ අයගෙන්ම තමයි අහන්න ඕනෑකම තියෙන්නෙ.

මොකද අවුරුදු තුනක් ආණ්ඩුව හොඳ වෙන්නත්, ඊට පසුව නරක වෙන්නත් මොකක් හෝ හේතුවක් ඇතිනේ. ඒ වගේම සමහර කණ්ඩායම් අපටත් කලින් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඡන්දය ඉල්ලලා එක්සත් ජාතික පක්‍ෂයෙ කටයුතු කළ අයත් ඒ අතර ඉන්නවා. 

මේ හදිසියේම ආණ්ඩුවෙන් ඉවත්වීමට හේතුවූ කාරණාව ඔබතුමන්ලා මගෙන් ප්‍රශ්න කරලා වැඩක් නෑ. ඒ ගැන ඔබතුමන්ලා එතුමන්ලාගෙන්ම ඇහුවා නම් තමයි වඩාත් හොඳ.''

Powered by Blogger.