Ad

ගෝඨා, වියත්මග ප්‍රකාශයත් ආණ්ඩුවෙන් හයිජැක් කරලා.


වියත්මග සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කර ඇත්තේ රජය ඉදිරිපත් කළ '2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීම පමණක් බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේය.


පසුගිය දිනක කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ වියත්මග නම් සංවිධානයේ සමුළුව අමතමින් ගෝඨාභය රාජපක්ෂ කළ කතාව අසාමාන්‍ය ලෙස උත්කර්ෂයට නැංවීමට සමහරු කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇත. වියත්මග සමුළුව ප්‍රවර්ධනය කිරීමේ නොයෙක් කතා එය පැවැත්වීමට දින කිහිපයකට පෙර සිට සමාජ ජාල සහ සමහර විද්‍යුත් මාධ්‍ය භාවිත කරමින් සිදු කිරීමට එම සංවිධානය කටයුතු කර තිබිණි. එය බොහෝ දෙනා තුළ එදින 'අලුත්' යමක් සිදු වෙතැයි බලාපොරොත්තු ඇති කරන ලදී.

කෙසේ වෙතත් අවසානයේදී එදින ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාවේ ප්‍රධාන කාරණා කිහිපය එකින් එක ගෙන බැලූ විට මෙහි සැබැවින් ම වෙනසක් සිදුව නොමැත. රජය ඉදිරිපත් කළ '2025 දැක්ම' (V 2025) ආර්ථික සැලසුම සහ දැක්ම ප්‍රකාශයම ක්‍රියාත්මක කිරීම සඳහා අමතර වසර පහක් ඉල්ලා තිබීම පමණක් එහිදී සිදුව තිබේ.

එළැඹෙන දශකයේ චීනය, ඉන්දියාව සහ ජපානය ප්‍රධාන ආර්ථිකයන් බවට පත් වන බවත් ආසියාව ආර්ථිකයේ කේන්ද්‍රය බවට පත්වන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පවසාඇත. අප චීනය සමඟ ගිවිසුමක් පිළිබඳ කතිකාවක නිරත වනුයේත් ඉන්දියාව සමඟ පුළුල් ආර්ථික සහ තාක්ෂණික ගිවිසුමක් ගැන කතා කරනුයේත් මේ හේතුව නිසා ය. සිංගප්පුරුව සමඟ අප දැනටමත් ගිවිසුමකට එළැඹ ඇත. එමෙන්ම වෙනත් ආසියානු ආර්ථිකයන් සමඟ ගිවිසුම් ගත වීමට ද අපේක්ෂා කරමු. අවධානය ආසියාව දෙසට යොමු කරමින් ඉන්දියානු සාගර කලාපයේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කර ආසියාවේ වර්ධනයේ වාසිය ලබා ගැනීම අපගේ අපේක්ෂාවයි.

තම කතාව තුළ ගෝඨාභය, ආර්ථික සංවර්ධනය රටේ සියලුම ප්‍රශ්නවලට විසඳුම බව ද ප්‍රකාශ කර ඇත. අපගේ අවධානය සම්පූර්ණයෙන් ම ආර්ථික වර්ධනය කෙරෙහි යොමු කර ඇත්තේත් වැඩි පිරිසකගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීමට කටයුතු කරනුයේත් ඒ අරමුණ පෙරදැරිව ය. අපගේ රැකියා දශ ලක්ෂයේ ව්‍යාපෘතිය ආදී ක්‍රියාමාර්ග යොමුව පවතින්නේ ද එම දිශාවට ම ය.

වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ආර්ථිකයක් වීම සඳහා ආර්ථික ව්‍යුහය වෙනස් කළයුතු බවද ඔහු පවසා ඇත. වර්තමාන රජය තරඟකාරීත්වය ඉහළ නංවමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් සිටිනුයේ ඒ වෙනුවෙනි.

මෙහිදී වඩාත් සිත් ගන්නා සුළු ප්‍රකාශය බවට පත්ව ඇත්තේ 'ශ්‍රී ලංකාවට සමාජවෙළෙඳපොළ ආර්ථිකයක් අවශ්‍ය' බව ගෝඨාභය තම කතාව අතරතුරදී ප්‍රකාශ කිරීම ය.මෙය 100%ක් ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ කාරණයක්වන අතර මේ වචන වලින් ම අගමැතිවරයා බොහෝ වතාවක් එය පවසා තිබේ.

සාම්ප්‍රාදායික ආර්ථිකය වෙනස් කිරීමේ කටයුත්ත වෙනුවෙන් වර්තමාන රජය කටයුතුකරමින් සිටියදී එම වෙනසේ අවශ්‍යතාවය සහ එලෙස වෙනස් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් අපගේ අවස්ථාවන් ගිලිහී යා හැකි බව ඔහු පැවසීම විහිළු සහගත ය.

විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙමින් පවතින බවත් අන්තර්ජාලය මූලික කොටගත්ව්‍යාපාර සංවර්ධනය වෙමින් පවතින බවත් ඔහු පවසා ඇත. නව සේවා කර්මාන්ත ලෙස සංචාරක කර්මාන්ත සහ වෛද්‍ය සංචාරක කර්මාන්තයත් තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ද අන්තර්ජාලය භරහා ප්‍රවර්ධනය කළ යුතු බවද එහිදී කියැවී ඇත.

ඒ වෙනුවෙන් 'ඩිජිටල් ආර්ථිකයක් සහ සුහුරු සමාජයක් අපට නිර්මාණය කළ හැකියි' යැයි ද ඔහු ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවේ 'තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය' හරහා දැනටමත් ක්‍රියාත්මක 'සුහුරු සමාජ කව' හරහා රජය සිදු කරමින් සිටිනුයේ ද ඒ කටයුත්ත ය. ඩිජිටල් ආර්ථික මූලෝපාය අපක්‍රියාත්මක කරන්නේ ද ඒ සඳහා ය. ආර්ථිකයේ ඉල්ලුම කෙරෙහි අවධානය යොමු කරමින් කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ නිෂ්පාදන ක්ෂේත්‍රය හරහා එය ක්‍රියාත්මක කීරිමට රජය කටයුතු කරමින් සිටියි.

සෘජු විදෙස් ආයෝජන දිරිමත් කිරීම සහ පහසුකම් සැපයීම සඳහා ප්‍රතිපත්ති සැකසී නොමැති බවද ඔහු අවධාරණය කර ඇත. නමුත් ඉලක්කගත අයෝජන ප්‍රවර්ධනය සඳහා දැනටමත් ආයෝජන මණ්ඩලය පියවර ගණනාවක් ගෙන තිබේ. එළැඹෙන මාසය වන විට සම්පූර්ණයෙන් ම මාර්ගගත වෙබ් ද්වාරයක් (ඔන්ලයින් වෙබ් පෝර්ටල්) විවෘත කෙරෙණ අතර සියලු ම ආයෝජන අනුමැතියන් එකම ස්ථානයකින් ලබා ගැනීමේ පහසුකම ඒ ඔස්සේ හිමි වනු ඇත.

වරාය ආශ්‍රිත කළාප ඇති කිරීම අවශ්‍යතාව ද මෙහිදී මතු කර තිබේ. එය මේ වනවිටත් හම්බන්තොට වරාය ආශ්‍රිත ව සිදු කරමින් පවතී. කොළඹ වරාය ආශ්‍රිතවද මෙය ගොඩනැගෙමින් ඇත. මහනගර සංවර්ධන අමාත්‍යාංශය වාරය ආශ්‍රිත මෙම ස්ථාන උතුරු කොළඹ ප්‍රදේශයේ දැනටමත් හඳුනාගෙන ඇත.

ප්‍රාග්ධනය ලබා ගැනීමේදී, එම ආයෝජනයේ ප්‍රතිලාභ ඵලදායීදැයි සැලකිලිමත් වියයුතු බවත් ණය නැවත ගෙවීමේ හැකියාව නොමැති වීමේන් අප අර්බුදයකට ලක්වන බවත්, වෙළෙඳපල විශ්ලේෂණයකින් තොරව අයෝජන සිදු නොකළ යුතු බව ද ගෝඨාභය පැවසීම අතිශයින් විහිළු සහගත ප්‍රකාශයකි. ඒ මක් නිසාද යත්, පැවති රජය අධික පොලියක් යටතේ ණය ලබාගෙන ආර්ථික හෝ වෙළෙඳපල විශ්ලේෂණයකින් තොරව ආයෝජනය කිරීම තුළ රටේ ආර්ථිකය අර්බුදයට ලක් කළ බැවිනි.

තමන්ම මුළුමනින් වගකිව යුතු අකුරේගොඩ ආරක්ෂක මූලස්ථානය ඉදිරිකිරීමේ ව්‍යාපෘතිය ගැන විමසීමේදී ඔහුගේ මෙම ප්‍රකාශය කෙතරම් ගැටලු සහගතදැයි පැහැදිලි ය. ඇස්තමේන්තුව මෙන් අට ගුණයක පිරිවැයක් දරා ඇති මේ ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා අමතර බිලියන 100ක මුදලක් අවශ්‍ය වී තිබේ. අපගේ ආරක්ෂක අංශවලට පහසුකම් සහිත මූලස්ථානයක අවශ්‍යතාවක් ඇති බව සත්‍යයකි. නමුත් ඒ, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් කැප කරමින් අටගුණයක් වැඩියෙන් මුදල් වැය කරමින් නොවේ.

රජයේ මුදල් නව කර්මාන්ත ආරම්භ කිරීමට යොදවනවා නම් ඒවා ලාබදායි විය යුතුබවත් ඒවා ලාබදායි ලෙස කළමණාකරණය කළ යුතු බව ද ගෝඨාභය පැවසීම පුදුම සහගත ය. මිහින් ලංකා, හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි විශාල වශයෙන් අලාභ ලැබූ ආයතන, රටට කෙතරම් ගැටලු ඇති කර ඇත් ද යන්න ඔහු නොදන්නවා විය නොහැකිය.

මේ සියල්ල සමඟ බලන විට වියත්මග යැයි පවසන සමුළුවක් හරහා ගෝඨාභය සැබැවින්ම සිදුකර ඇත්තේ පවතින රජයේ ව්‍යාපෘති එම වචනවලින් ම සහ සමාන තේරුම් ඇති වෙනත් වචන වලින්ම යළිත් ඉදිරිපත් කිරීම මිසක් අන් කිසිවක් නොවේ. ඊටත් වඩා පැවති රාජපක්ෂ පාලනය විසින් අර්බුදයට ඇද දැමූ ව්‍යාපෘති පිළිබඳ නැවත මතකයට නැංවීමටත් ඔහු උත්සහ ගෙන ඇති බව ඔහුගේ කතාවෙන් මනාව පැහැදිලි වන කරුණකි.

Powered by Blogger.