සුව ඇමැතිගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නව යෝජනාවක්.



දරුවන් අතර බෝනොවන රෝග ව්‍යාප්තවීම වැළැක්විම සදහා අහිතකර ආහාර නිෂ්පාදන පිළිබද වෙළෙද ප්‍රචාරණයට එරෙහිව පියවර ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සැසිවාරයට යෝජනා කර සිටියේය. 

වාර්ෂික සැසිවාරයට සමගාමිව පැවැති බෝනොවන රෝග පිළිබද ඉහළ පෙළේ සැසිවාරයකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ බෝනොවන රෝග පිළිබද වාර්තාව පිළිබදව ද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ මෙම වාර්තාව තුල තොරතුරු රැසක් අන්තර්ගත වෙනවා. ශ්‍රි ලංකාව වසර 2030 වන විට තිරසර සංවර්ධන ඉළක්ක ජයගැනීමට කටයුතු කරනවා. සියලු රටවල් එම ඉළක්ක ජයගත යුතුයි. බෝනොවන රෝග පාලනය එහිදී ඉතා වැදගත් වෙනවා. යහපත් සෞඛ්‍ය ප්‍රවර්ධනයක් සහ මානසික සෞඛ්‍ය පිළිබද අවධානය යොමු කිරිම ඉතාම වැදගත්. මෙවැනි වාර්තාවක් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් ක්‍රියාමාර්ගය මම අගය කරනවා. මෙම වාර්තාවේ ඇතුලත් ඉළක්ක ජය ගැනීම සදහා සියලු දෙනාම කැපවිය යුතුයි. එහිදී දේශපාලන කැපවීම ඉතා වැදගත්”.

“බෝනොවන රෝග පාලනය කිරිම සදහා දුම්කොළ භාවිතය අවම කිරීමට විවිධ ක්‍රියාමාර්ග ගැනීමේ දී සහ අත්‍යාවශ්‍ය ඖෂධ වාර්ග 48 ක මිල අඩු කිරීමේ වැඩපිළිවෙලේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන කැපවීම ඉතාම අගය කළ යුතුයි. දුම්වැටි ඇසුරුම්වල සියයට 80 ක රූපමය අවවාද ඇතුලත් කිරිම, දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවිම ඇතුලු තීන්දු තීරණ රැසක් ගනු ලැබුවේ දැඩි දේශපාලන කැපවිම හේතුවෙනි. ඒ සදහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසක් අනුගමනය කරනු ලැබුවා. දරුවන් අතර බෝනොවන රෝග වැළැක්විම සදහා  ප්‍රමුඛතාවය ලබාදිය යුතුයි. ඒ පිළිබදව මෙම වාර්තාවේ කරුණු සදහන් වෙනවා. නමුත් දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කර

ඇති අහිතකර ආහාර පිළිබද වෙළෙද ප්‍රචාරණයට එරෙහිව පියවර ගත යුතුයි. ජාත්‍යන්තර මට්ටමේ සංකේත හදුන්වා දිය යුතුයි. ලුණු සහ මේදය භාවිත කිරිම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරිපත් කළ මෙම වාර්තාවේ සීනි භාවිතය අවම කිරිම සදහා ගත හැකි ක්‍රියාමාර්ග ඇතුලත් යෝජනා ඉදිරිපත් කර නැහැ. මම සීනි භාවිතය අවම කිරීම සදහා වූ යෝජනා ඉදිරිපත් කරන ලෙසට ඉල්ලීමක් කරනවා. බෝනොවන රෝග පාලනය කිරිමට අපට හැකියාව ඇති අතර, ඒ සදහා කාල ගණනය කිරීමේ ඉළක්ක ලබාදිම ඉතාම වැදගත්. එමගින් රට වලට උත්තේජනයක් ලැබෙනවා.”

Info Sri Lanka TV

Powered by Blogger.