'කොළඹ ගඳගහන යතාර්ථය වෙනස් නොකර උඩින් මල් පෝච්චි තිබ්බට වැඩක් නැහැ'



කොළඹ නගරයේ යටින් ඇති ගඳගහන යතාර්ථය වෙනස් නොකර උඩින් මල් පෝච්චි තිබ්බට වැඩක් නැති බව මහා නගර හා  බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ, අද (23) දින හේනමුල්ලේ ඉදිකරන ලද ‘මෙත්සඳ සෙවණ’ නිවාස ව්‍යාපෘතියේ නිවාස 722 ක් ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි. 



අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමන්ලාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරුණු මෙම අවස්ථාවට අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අමාත්‍ය මනෝ ගනේෂන්, පා.ම. රවී කරුණානායක මැති ඇමතිවරුන් ද කොළඹ නගරාධිපති රෝසී සේනානායක මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අතිගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත් අධිෂ්ඨාන කරගෙන තිබෙනවා මේ කොළඹ නගරයේ පැල්පත්වාසීන් හැටියට ජීවත්වන ජනතාවගේ ජීවිත වෙනුවට ඔවුනට වැදගත් නිවාස ලබාදීලා 100% කින් නිවාස ගැටළුව විසඳීම සඳහා කටයුතු කරන්න. 2014 මේ ව්‍යාපෘතිය ආරම්භ කළ අවස්ථාවේ රුපියල් බිලියන 10 කින් රුපියල් බිලියන 210 ක ව්‍යාපෘතියක් තමයි ආරම්භ කළේ. ඒ නිසා ඉතාම කෙටි කලකින් එම ව්‍යාපෘතිය මූල්‍යමය වශයෙනුත්, ඒ වගේම ඉංජිනේරුමය වශයෙනුත්, සමාජමය වශයෙනුත් අර්බුදයට ගියා. කොන්ත‍්‍රාත් සමාගම් 16 න් 4ක් ඒවා දාලා ගියා. ඒ වගේම ජනතාව පාරට බැහැලා නොයෙක් ආකාරයේ විරෝධතා පැවැත්වුවා අපි යන්නේ නැහැ කියලා.  ඒ නිසාම පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් ජනතාව තමන්ගේ ප‍්‍රකෝපය එම වැඩපිළිවෙල වෙනුවට ප‍්‍රකාශයට පත් කළා. අද අපි ඒ අඩුපාඩුකම් සියල්ල දුරුකර රජය වෙනුවෙන් ජනාධිපතිතුමත්, අගමැතිතුමත් ඒ කි‍්‍රයාවලියට මැදිහත් වෙලා අපට 2016 වසරේදී මෙන්ම 2017 වසරේදීත් ලබා දුන්නා සේම විශාල වශයෙන් මේ 2018 වසරේදී එම සහයෝගය ලබාදී තිබෙනවා. ඒ වගේම 2020 වන විට නව නිවාස ඒකක 21,000 ක් නිර්මාණය කර ගැනීමේ හැකියාව අපට තිබෙනවා. පසුගිය රජයන් විසින් සිදු කරනු ලැබූ තට්ටු නිවාස මෙන් දස ගුණයක් මෙම ආණ්ඩුව මෙම වසර 5 තුළදී ගොඩනගලා මෙන්ම ගොඩනගමින් තිබෙන බව අපි බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරනවා.


ඒ වගේම මෙම කිසිම ජනතාවකට බලහත්කාරය පාවිච්චි කර නැහැ. එම ජනතාවත් සමග සාකච්ඡා කර ඒ අයගේ මතිමතාන්තරවලට ඉඩ දෙමින් අපේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමේ තේමාවෙන් ජනතා හිතවාදීවයි එම කටයුත්ත කරගෙන යන්නේ. එම ජනතාවගේ ජීවිත ගොඩනැංග්වීම සඳහා ඔවුනට ස්වයං රැකියා ලබාදෙන්න, දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න, දරුවන්ගේ ක‍්‍රීඩා, කලා කුසලතාවයන් නංවන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි මෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, රජය ඔබ වෙනුවෙන් ලක්‍ෂ 40 ක පමණ ප‍්‍රධානයක් කරනවා. අපේ ජීවිතයේදී කිසියම් රජයක් සමෘද්ධිය ඇතුළු වෙනත් කිසි ආකාරයකින් ලක්‍ෂ 40ක මුදලක් කවුරුත් දීලා නැහැ. ඒ නිසා මේ ලැබෙන දායාදය ආරක්‍ෂා කර ගන්න මෙම නිවාස අපිරිසිදු කර ගන්න එපා. මෙම නිවාස විධිමත්ව පාලනය කරන්න. ඉතාම සුළු මුදලක් මෙම නිවාස නඩත්තුව සඳහා එකතු කරන්න. ඔබේ වගකීම ඔබ ඉටු කරන්න. මත්ද්‍රව්‍ය මත්පැන්, දුෂ්චරිතයට මේ නිවාස සංකීර්ණවල ඉඩ දෙන්න එපා. ඒවට විරුද්ධව නැගී සිටින්න. මේ ප‍්‍රදේශවල ඔබේ දරුවන්ට අලූත් ලිපිනයක් සමග අලූත් ජීවිතයක් ලබාදෙන්න අපි අධිෂ්ඨාන කර තිබෙනවා. මේ මුතුවැල්ලේ, පර්ල් සිටි නමින් අලූත් නගරයක් අනාගතයේ ඉදිරි වසර 3 ඇතුළතදී ගොඩනැගෙනවා. ඒ අනුව කි‍්‍රයා කරන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මා ඉල්ලා සිටිනවා. 


ඒ වගේම මේ කොළඹ නගරයේ අපට විශාල ගැටළු ගණනාවක් තිබෙනවා. අපි මේ කොළඹ නගරයේ පාරවල් හැදුවා, මල් පෝච්චි තිබ්බා, වටරවුම් හැදුවා නමුත් කොළඹ නගරය යටින් අප ජලය රැගෙන යාමට තිබෙන කාණු පද්ධතිය හැදුවේ නැහැ. ඒ වගේම කොළඹ නගරයට එන පානීය ජලනල පද්ධතිය හැදුවේ නැහැ. කොළඹ නගරයේ මලාපවහන පද්ධතිය හැදුවේ නැහැ. මේ තුනම මෙයට වසර 150 කට කලින් බි‍්‍රතාන්‍යයන් විසින් නිර්මාණය කරපුවා. මේ පද්ධති වෙනස් නොකර කොළඹ නගරය වෙනස් කරන්න බැහැ. මෙම නලපද්ධති අලූතින් නිර්මාණය කිරීම සඳහා අප රජය කි‍්‍රයාකර තිබෙනවා. ඒවා අලූත් කිරීම සඳහා පාරවල් කැඩිය යුතු වෙනවා. එතකොට කියනවා ගිය ආණ්ඩුවෙන් ලස්සනට හැදූ පාරවල් කඩනවා කියලා. මේ පාරවල්වලට යටින් තිබෙන ගඳ ගහන යතාර්ථය වෙනස් නොකර උඩින් මල් පොච්චි තිබ්බට වැඩක් වෙන්නේ නැහැ. දිරාපත් වූ සිරුරක මුහුණ මේකප් කරලා වැඩක් නැහැ. සිරුර මුලින් ගොඩනැගිය යුතුයි. ඒ නිසා ජලනල පද්ධතිය, මලාපවහන පද්ධතිය හා අපජල පද්ධතිය අපි නිවැරදි කර ගත යුතුයි. එම කටයුත්තට අප රජය අත ගසා තිබෙනවා.

ඒ වගේම නාගලන් වීදියේ, කොලොන්නාවේ, අඹතලේ, කැළණි විහාරය ආරක්‍ෂා කරන බැමි ඉංග‍්‍රීසින් විසින් වසර 150 කට පමණ පෙර ඉදිකරනු ලැබූ ඒවා. යම් හෙයකින් මේ බැම්මකට අනතුරක් උනොත් මේ නගර ආදී ප‍්‍රදේශවලට සුනාමියෙන් උනාට වඩා විලම්පනයක් සිදුවනවා. ඒ නිසා අපේ ප‍්‍රධාන ප‍්‍රමුඛතාවය විය යුත්තේ මේ කැළණි ගඟ, අත්තනගලූ ඔය, කළුගඟ පිළිබඳව ව්‍යාපෘති දියත් කරන එක.   කැළණි ගඟ හරියට ගොඩනැගුවොත් මේ රටේ ධන ආකරය තිබෙන්නේ මේ කැළණි ගඟත් සමගයි. එය අවබෝධ කරගෙන කටයුතු කිරීම ඉදිරියේදී අවශ්‍යයි. ඒ සඳහා අපට අවශ්‍යයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස සහ ශක්තිමත් අඩිතාලමක් සමග ගොඩනැගුණු අලුත් ගමනක්.

ඒ වගේම අද මෙතන සිටින අපේ සියළුම දේශපාලන අධිකාරිය, සියළු ආගම්වලට අයිති හුඟ දෙනෙක් සහජීවනය, සංහිඳියාව, සාමය  ගැන කතා කරනවා. හැබැයි මෙම නිවාස සංකීර්ණවල එවැනි කිසිම ගැටළුවක් නැහැ. ප‍්‍රායෝගිකව සෑම කෙනාම අන්‍යයන්ට ගරු කරමින් ඒ සංහිඳියාවත්, සාමයත්, සහජීවනයේ ප‍්‍රතිමූර්ති බවට මේ නිවාස සංකීර්ණ පත්වෙලා ඉවරයි. ඒ නිසා අප ඈත මෑත තැන් තැන්වල සංහිඳියාව ගැන කතා කරන්න කළින් ඒ සංහිඳියාවේ පදනම මේ ස්ථානවල ගොඩනැගී තිබෙනවා. එය අප ආරක්‍ෂා කරගෙන ඉදිරියට යා යුතු වෙනවා. මේ තැන් අන්තවාදීව කටයුතු කරන අන්තවාදීව සටන් පාඨ කියන සෑම කෙනාටම හොඳ ආදර්ශයක් කියන එක අප ප‍්‍රකාශ කළ යුතුයි.


වෙනදා මේ වගේ ව්‍යාපෘතියක් සිදු උනහම දේශපාලකයන්ගේ, ඔවුන්ගේ දරුවන්ගේ මෙරට මෙන්ම විදේශවල ගිණුම්වලට මුදල් බැරවෙන එක සිදු උනේ. නමුත් අද මේ කොන්ත‍්‍රාත් කරුවන් සියළු දෙනාම ඉදිරිපත් උනා අපේ දරුවන්ගේ අධ්‍යාපනය, ක‍්‍රීඩා කුසලතාවය, කලා කුසලතාවය ඉහළ නංවන්න ආධාර කරන්න. එය විශාල ආදර්ශයක්. එය මත අපත් සමග එකට වැඩ කළ අපේ රටේ ව්‍යාපාරිකයන්ටත්, කොන්ත‍්‍රාත් කරුවන්ටත් අපේ ස්තූතිය පිරිණමනවා. ඔබේ දරුවන් අධ්‍යාපනයෙන් ශක්තිමත් උනොත් මෙහි ගොඩනැගෙන වරාය නගරයේ රැකියා 80,000 ක් ලබන වසර 10 ඇතුළත දී ලැබෙනවා, ඒ සඳහා සුදුසුකම් ලැබීමට මේ නිවාස ඔබේ දරුවන්ට නව අනාගතයකට මංපෙත් විවර කරනවා ඇති.

තවදුරටත් බේරේ වැව අවට පැල්පත් නැහැ. බ්ලූමෙන්ඩල් කුණු කන්ද අවට පැල්පත් නැහැ. ඉදිරි කාලයේදී කොළඹ නගරයේ එක පැල්පතක්වත් ඉතිරි වන්නේ නැහැ. මේ මුළු කොළඹම නව ජීවිතයකට ගමන් කරමින් තිබෙනවා. ඒ නව ජීවිතයට මගහසර පාදා දුන්, එම වැඩපිළිවෙල තිරසරව ඉදිරියට ගෙනයන්න කැපවූ ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඒ වෙනුවෙන් ඡන්දය ලබාදුන් ඔබ සියළු දෙනාටම එතුමන්ලා එම වගකීම ඉටු කලාය කියන එක බොහොම ආඩම්බරයෙන් ප‍්‍රකාශ කරමින් ඔබ සියළු දෙනාටම නව ජීවිතයක් ලැබේවා" යයි ප‍්‍රකාශ කළහ.

Info Sri Lanka TV

Powered by Blogger.