ණය ගැන කතා ඉවරයි : මහින්ද, මංගල සමග විවාදයෙන් පසුබායි.


රට එක්සත් කරමින් සංවර්ධනය කරා රැගෙන ගිය මහින්ද රාජපක්ෂ වැනි නායකයයකුට බංකොලොත් ආණ්ඩුවක් සමඟ විවාද අවශ්‍ය නැතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඊයේ (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

ඔහු එබව කියා සිටියේ ''රාජ්‍ය ණය ගැන තමා සමග විවාදයට එන ලෙස මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පෙරේදා (22) පැවති මාධ්‍ය හමුවකදී හිටපු මුදල් ඇමැති සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‌ෂ මහතාට කල ආරාධනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු කල විමසීමකදීය.

එක එක්‌කෙනා ලියා දෙන කොළ කියවන්නේ නැතිව:

රාජ්‍ය ණය සම්බන්ධයෙන් තමා සමඟ ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට පැමිණෙන ලෙස කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු මුදල් ඇමැති මහින්ද රාජපක්‌ෂ මහතාට ආරාධනය කරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඉකුත් 22 දා මුදල් අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීවේය.

එක එක්‌කෙනා ලියා දෙන කොළ කියවන්නේ නැතිව තමා සමඟ මේ විවාදයට එන ලෙසද ඇමැති මංගල සමරවීර මහතා මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඇමැතිවරයෙක්‌ ලෙස තමාට මන්ත්‍රීවරයකු සමග විවාදයකට නොයන ලෙස ඇතැම් අය ප්‍රකාශ කළත් මහින්ද රාජපක්‌ෂ මන්ත්‍රීවරයා සමඟ විවාද කිරීමට තමා සූදානම් බවද ඇමැති මංගල සමරවීර මහතා කිවේ කිසියම් උපහාසයකට මෙනි.

ශ්‍රී ලංකාව යළිත් වතාවක්‌ පැසිස්‌ට්‌ රාජ්‍යයක්‌ වෙත:

''ශ්‍රී ලංකාව යළිත් වතාවක්‌ පැසිස්‌ට්‌ රාජ්‍යයක්‌ වෙත ගෙනයන්න හදන අය ගොබෙල්ස්‌ගේ න්‍යාය අනුව ආර්ථිකය කඩා වැටී ඇතැයි යන බොරුව විපක්‌ෂය දිගින් දිගටම ජප කරමින් සිටිනවා. මේ අය විපත් මාර්ගයකට රට ගෙනියන්න උත්සාහ කරමින් සිටිනවා. මේ අය කියන බොරු සංඛ්‍යා ලේඛන පිළිබඳ සත්‍ය හා යථාර්ථය ජනතාව දැනගත යුතුයි. මේ ගැන අපි ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළ කර ජනතාව දැනුවත් කළා. මේ සම්බන්දයෙන් විනිවිදභාවයෙන් අපි කටයුතු කරනවා'' යයි ද මුදල් ඇමතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද කියා සිටියේය.

''2015 ජනවාරි මාසයේදී අපට මතකයි මහා ණය බරකින් තැලුණ පොඩිවුණ ආර්ථිකයක්‌ තමයි අපි භාර ගත්තේ. එසේම ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා වූ රටක්‌ තමයි අපි එදා භාර ගත්තේ. අද රාජපක්‌ෂලා දරාගන්න බැරි ජීවන වියදමක්‌ ගැන කතා කරනවා. නමුත් රාජපක්‌ෂ සමයේ ජීවන වියදමත් අද ජීවන වියදමත් අතර ලොකු වෙනසක්‌ නෑ. අද එදාටත් වඩා ඇතැම් අත්‍යවශ්‍ය භාණ්‌ඩවල මිල ගණන් තව අඩු වී තිබෙනවා. ''

Latest Video

Powered by Blogger.