විශ්වීය සෞඛ්‍ය රැකවරණය ශ්‍රී ලාංකිකයින්ට.



නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ සියලු ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ස්විස්ටර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වෙන 71 වන මහා සැසිවාරය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම සැසිවාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 21 වනදා ආරම්භ වූ අතර, එය අවසන් වන්නේ ලබන 28 දායි.

සැසිවාරය අමතමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ලෝක සෞඛ්‍ය දිනය මෙවර ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ගත් තීරණය පිළීබදව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට මම ස්තූතිය පුද කරනවා. එය සැමරීමට ශ්‍රී ලංකාව සුදුසුම රට ලෙස හදුනාගැනීම ද ඉතා වැදගත්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධයක්ෂ ජනරාල්වරයා එම උත්සවයට සහභාගිවෙමින් අභිමානයක් ලබාදුන්නා. තව ද උත්සවය සාර්ථක කර ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ලබාදුන් සහයෝගය ඉතා වැදගත්. ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය රැකවරණය ලබාදීමට නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අභියෝග පිළිබදව ද අවබෝධයක් තිබෙනවා. ඒ සදහා වූ ප්‍රතිසංස්කරණ සිදු කරමින් සෞඛ්‍ය ප්‍රවර්ධනයක් සදහා ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. බෝනොවන රෝග පාලනය කිරීම, බෝවන රෝග පාලනය කිරීම, වයස්ගත  වැඩිහිටි ප්‍රජාව, මානසික සෞඛ්‍ය, පිළිකා, පෝෂණය වැනි මාතෘකා වලට අදා අභීයෝග ජය ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. විශ්වීය සෞඛ්‍ය රැකවරණයට අදාල ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩලය ද අනුමැතිය ලබාදුන්නා. එම ප්‍රතිපත්තියට අනුව අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරිම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සීමාව ඉවත් කිරිම, වැනි ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා. නව ප්‍රතිපත්ති වන්නේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම, පවුලේ වෛද්‍යවරයා සංකල්පය ඇතුලු තවත් කරුණු ගණනාවක් වනවා. මාතෘ හා ළමා සෞඛ්‍ය, බෝවන රෝග, මැලේරියාව හා බරවා තුරන් කිරිම, එච්.අයි.වී ව්‍යාප්තිය පාලනය කිරීම වැනි ප්‍රතිඵල ද ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ලබා ඇති ජයග්‍රහණ අතර වෙනවා. විවිධ රටවලින් රෝග වැළැක්වීම, සෞඛ්‍ය ප්‍රවර්ධනය සදහා සහයෝගය ලැබෙනවා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර, දිවිපැවැත්ම සදහා දෛනික ක්‍රියාකාරකම් වලින් ඇතිවන බලපෑම් හේතුවෙන් බෝනොවන රෝග වලට ජනතාව ගොදුරු වෙනවා. දුම්කොළ පාලනය කිරිම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. සීනි භාවිතය අවම කිරිමට වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වාදීම සහ බදු පැනවීම තුලින් ජනතාව ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා. කඩිනමින් මෙම ක්‍රමය අනෙකුත් ආහාර වලට ද හදුන්වාදීමට බලාපොරොත්තු වන අතර, ලුණු සහ මේද ආහාර පාලනය කිරිම සදහා ද ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා. මත්පැන් භාවිතය කළාපීය ප්‍රශ්ණයක් වන අතර එය අවම කිරීමට ක්‍රියාමාර්ග ගත යුතුයි.”
“විශ්වීය සෞඛ්‍ය රැකවරණය සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය 05 අවුරුදු සැළැස්මක් ආරම්භ කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියානු රටවලින් ලබාදෙන සහයෝගය ද අගය කළ යුතුයි. සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීමේ දී මානව සම්පත් හිගය ප්‍රබල සාධකයක්. එක්ලක්ෂ තිස්පන්දහසක් පමණ වන සෞඛ්‍ය සේවකයින් අතුරින් වෛද්‍යවරුන් 17000 ක් සහ හෙදහෙදියන් 32000 ක් රාජකාරියේ නිරත වෙනවා. මානව සම්පත වැඩි කිරිම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. කිසිවෙකුට පිටුපසින් නොසිටිය යුතුයි. යන්න විශ්වීය සෞඛ්‍ය රැකවරණයේ තේමාවයි. එය ජයගැනීම සදහා ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුව කටයුතු කරනවා. එහිදී සංක්‍රමණිකයින් පිළිබදව ද අවධානය යොමු කළ යුතුයි. විසා බලපත්‍ර අයදුම් කිරීමේ සිට රෝගී තත්ත්ව පිළිබද සොයා බැලීමට පියවර ගෙන තිබෙනවා. සෑම රෝගයක් පිළිබදවම ජාතික වශයෙන් ජනතාවට උපදෙස් ලබාදෙනවා. තවද සෞඛ්‍ය, සුරක්ෂිත කරනවා.”
“ශ්‍රී ලංකාවද විසදා ගැනීමට නොහැකි වූ සෞඛ්‍ය අභියෝග  වලට මුහුණ දී සිටිනවා. හදුනා නොගත් වකුගඩු රෝගය ඉන් ප්‍රධානයි. එය වළක්වා ගැනීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සේවාව අගය කළ යුතුයි. තව ද හදුනා නොගත් වකුගඩු රෝගය පිළිබදව පර්යේෂණ කිරීමට චීන රජය පර්යේෂණ මධ්‍යස්ථානයක් ලබාදී තිබෙනවා. එය ද අගය කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරිමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැබෙන සහයෝගය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම ඉහළින් අගය කරනවා.”

Latest Video

Powered by Blogger.