පුවත්පත් වාර්තාවක් ගැන ජනපති නියමයෙන් පොලිස් විමර්ශනයක්.





ආණ්ඩුවේ 'දිනමිණ' පුවත්පතේ අද (25) දින පළවී ඇති පුවත් වාර්තාවක් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදුකර වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් දී ඇත. 

'සිවිල් අරගලයකට පසුබිම හදන කිසිදු ක්‍රියාවකට ඉඩ නොතබන්න' සහ 'රට ඛෙදන වැඩ ගැන ආරක්ෂක අංශ සීරුවෙන්'  යන සිරස්තල යටතේ එම ප්‍රවෘත්තිය පලවී ඇති බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

එම පුවත් වාර්තාවම 'ලක්බිම' පුවත්පතෙහි ද පලවී තිබිණ

අදාළ ප්‍රවෘත්ති වාර්තාව අනුව ඊට පදනම්ව ඇත්තේ පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වූ කරුණක් බව සඳහන් වී ඇතත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාවට හෝ ජන ජීවිතයේ ආරක්ෂාවට එල්ල වී ඇති තර්ජනයක් පිළිබදව ආරක්ෂක මණ්ඩලයට කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති පසුබිමක එම පුවතේ සඳහන් වී ඇති ආකාරයට ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට කිසිදු හේතුවක් ඇති නොවූ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනයේ සඳහන් වේ.

එබැවින් මෙම ප්‍රවෘත්තිය කිසියම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් විසින් නිර්මාණය කර මාධ්‍ය ආයතන වෙත යොමුකර ඇති අසත්‍ය ප්‍රවෘත්තියක් බව පවසන ජනාධිපති මාධ්‍ය අංශය, මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ කවුරුන්ද යන්න පිළිබඳව වහාම සොයා බලන ලෙස පොලිස්පතිවරයාට නියෝගකර ඇත.


Info Sri Lanka TV

Powered by Blogger.