කසලින් රුපියල් දස ලක්‍ෂ 300 ක ධනයක්.



පසුගිය මාස 6 තුළ කොළඹ සහ අනෙකුත් නගර වල කසලින් රුපියල් දස ලක්‍ෂ 300 ක ධනයක් උපයා තිබෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ පසුගියදා මොරටුව කටුබැද්ද මොරටුව කටුබැද්ද පාරිසරික වැඩිදියුණු කිරීමේ හා ප‍්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. 

මෙම උද්‍යානය ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඉදිකරන ලද අතර විවෘත කිරීමේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2015 වසරේ එවකට ආරම්භ වී තිබූ සංවර්ධන වැඩසටහන් මුල්‍යමය ගැටළු හා ඉඩම් අත්පත් කර ගැනීමේ ගැටළු නිසා බොහෝ දුරට ඇණ හිටියා. ඒවා පිළිවෙලක් කර දියත් කරන්න සෑහෙන කාලයක් ගතවුණා. දැන් එම ව්‍යාපෘති බොහොමයක් කි‍්‍රයාත්මක කර තිබෙනවා. මෙම ව්‍යාපෘතියත් එවැනි ව්‍යාපෘතියක්. තව නොබෝ දිනකින් බොරලැස්ගමුවේ ආබාධිත තත්වයට පත්වී සිටින අපේ දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් අපගේ දියත උද්‍යානයටත් වඩා විශාල උද්‍යානයක් අපි විවෘත කරනවා. ඒ වගේම බොරලැස්ගමුව වැව ප‍්‍රදේශයෙත් එවැනිම සංවර්ධන කි‍්‍රයාවලියක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද නාගරීකරණය එන්න එන්නම වැඩිවන විට ජනතාවගේ ලෙඩදුක් ද වැඩිවෙනවා. විධිමත් පරිසර පද්ධතියක් නොතිබුණොත් ඩෙංගු ආදී රෝග බෝ වෙනවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න භාවය අඩු වීම නිසා පිළිකා රෝග, වකුගඩු රෝග, හෘද රෝග ආදි බෝ නොවන රෝග ව්‍යාප්ත වෙනවා. ඒ නිසා අපේ ඒ ජනතාවගේ නිරෝගී සම්පන්න භාවයටත්, ප‍්‍රදේශයේ අලංකාර භාවයටත් මේක ඉතාම අත්‍යාවශ්‍යයි.

ඒ වගේම අපි මොරටුවට තවත් යෝජනා කිහිපයක් දියත් කර තිබෙනවා. ඒ අතර බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්, වීරපුරන් අප්පු ක‍්‍රීඩාංගනය ප‍්‍රතිසංස්කරණය කර අනගි උද්‍යානයක් එතන ඉදිකිරීමටත්, කටුබැද්ද පොදු වෙළඳ සැල විධිමත්ව සකස් කිරීමේ යෝජනාවකුත් ගෙනවිත් තිබෙනවා. ජනතාවගේ කැමැත්තෙන් පත්වූ අලූත් මහනගර සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත මේවා දියත් කිරීමට අවශ්‍ය වෙනවා. මේවා පක්ෂවලට, ආණ්ඩුවලට අදාල දේවල් නොවෙයි. මේවා ගොඩනැගුවාම ඒවා අයිති වෙන්නේ ජනතාවට. ඒ නිසා අප බලාපොරොත්තු වෙනවා නව නගරාධිපතිතුමා ඇතුළු පිරිසෙන් අපට අවශ්‍ය කරන සහයෝගය ලැබෙයි කියලා මේ කටයුතු සම්පූර්ණ කර අපේ ජනතාවට අවශ්‍ය කරන මෙහෙවර මෙම වසර තුළදීම ආරම්භ කරන්න. ඒ වගේම මේ කටුබැද්ධ ප‍්‍රදේශයෙත්, වෙරළබඩත්, තැන් තැන්වල ජීවත්වන නාගරික අව වරප‍්‍රසාධිත ජනතාව වෙනුවෙන් ෆැක්ටරි වත්තේ නිවාස සංකීර්ණයක් ඉදිකරන්න අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම රත්මලානේ වාරිමාර්ග ඉඩමේ වාණිජ හා නේවාසික සංකීර්ණයක් මධ්‍යම පන්තික ජනතාව වෙනුවෙන් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට කොළඹ නගරයේ මෙම වසර අවසානය වන විට නව පැල්පත්වාසී අපේ දුගී ජනතාව සඳහා නිවාස 9,000 ක් අපි ඉදිකරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප‍්‍රමුඛ අපේ රජය අධිෂ්ඨානය කරගෙන තිබෙනවා මේ පැල්පත්වාසීන්ගේ නිවාස ගැටළුව 100% ක් විසඳීමට කටයුතු කරන්න. අපි මේ රටේ ජනහිතකාමී සංවර්ධනය කරන්නේ කොහොමද කියලා පෙන්වලා දී තිබෙනවා. මොකද ජනතාවගේ කැමැත්තෙන් ජනතාවත් සමග කරන තිරසර සංවර්ධනයක් නිසා මදක් ප‍්‍රමාද උනා.

පසුගිය දිනවල පුවත්පත්වල පළවුනා, ලෝක බැංකුව විසින් ලංකාවේ කසල ගැටළුව විසඳන්න ඉදිරිපත් වී පසුව ඒ ණය ලෝක බැංකුව විසින් ඉවත් කර ගත්තයි කියලා. ඔවැනි කතාවක් මීතොටමුල්ල කසළ කන්ද ගැනත් පළවී තිබුණා. එය එංගලන්තයට ගෙනයන්න වැඩපිළිවෙලක් තිබුණා අප මැදිහත් වී එය වැළැක්කුවා කියා. එයට ලෝක බැංකුව විසින් උත්තර දී තිබෙනවා එවැනි කිසිම ණය යෝජනා ක‍්‍රමයක් පිළිබඳව සාකච්ඡුාවක්වත් සිදුවී නොමැති බව. අද කොළඹ නගරය ඇතුළු අනෙකුත් තදාසන්න නගරවල කසළ ගැටළුවට ඉදිරි වසර 80 ක් දක්වා විසඳන්න රජයේ අරමුදල්වලින් ම එම අවශ්‍ය ඉදිකිරීම් සිදු කරගෙන යනවා. එය කොළඹ නගර සභාවේ වගකීමත් වුවත් එය ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත අප විසින් විසඳන්න අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. එහි පළමු පියවර මේ නොවැම්බර් මාසයේ අවසන් වන බව අප සඳහන් කළ යුතුයි. එය ලෝක බැංකුවටවත්, වෙනත් කිසිම තැනකට ණය වී නොවෙයි, මෙරට මුදල්වලින්ම සිදු කරන අතර එම මුදල නගර සභාවේ කසළ වලින්ම උපයන බවත් සඳහන් කරනවා. ඉදිරි කාලයේදී නගර සභාවේ අරමුදලින්ම එය නඩත්තු කිරීමේ කටයුතු සකස් කර අවසන් කියන එකද බොහොම ආඩම්බරයෙන් කිව යුතුයි.

කසල කියන්නේ අපතේ යන දෙයක් නෙමෙයි ධනය උපදවන දෙයක් කියලා හැම තැනම බැනර් ගසා තිබුණට අද තමයි එය යතාර්ථයක් වී තිබෙන්නේ. පසුගිය මාස 6 තුළ කොළඹ නගරයේ ඇතුළු අනෙකුත් නගරවල කසළ වලින් කොම්පෝස්ට් පොහොර සහ ප‍්‍රතිචක‍්‍රීයකරණ ද්‍රව්‍ය ලෙස දසලක්‍ෂ තුන්සියයක ධනයක් උත්පාදනය කර තිබෙනවා. ඒ වගේම කොළඹ නගරයේ ඉදිරියේදී එකතුවන දිරායන කසළ තුළින් වරාය නගරය තුළ ඉදිවන උද්‍යානය ගොඩනගන්න පාවිච්චි කරන බවද සඳහන් කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ප‍්‍රතිපාදන මගින් මීතොටමුල්ල කසල කන්ද තිබෙන ප‍්‍රදේශය විධිමත් සංවර්ධනයකට යටත් කරන්නත්, බ්ලූමෙන්ඩල් කසල කන්ද ප‍්‍රදේශය රේගු අංශයේ වැඩකටයුතු සඳහා මෙරට ප‍්‍රධානම රේගු මධ්‍යස්ථානය ඉදිකිරීමටත් බලාපොරොත්තු වෙනවා. එය තමයි තිරසර සංවර්ධනය, එහෙම නැතුව ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර, එම ඉඩම් විදේශ ආයෝජකයින්ට ලබාදී රට ණය උගුලක හිර කිරීම නෙමෙයි සංවර්ධනය කියන්නේ යැයි පැවසීය.

Latest Video

Powered by Blogger.