නාමල්, ගම්මන්පිල, මේ ඝාතනවලට වගකියන්නෙ කවුද?



මහජන නියෝජිතයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් රජය සම්පූර්ණ වගකිව යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබේ. ඒ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කරමිනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුව පාතාලය මර්දනය කිරීම පසෙක තබා පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට ආරක්ෂාව ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි. මෙම ඝාතනය සඳහා පොලීසිය සම්පූර්ණයෙන් වගකිව යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ.

උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශය මෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය ද පිළිගත යුතුය. මන්ද, යම් අපරාධයක් සිදුවන්නේ නම්, යම් ඝාතනයක් සිදුවන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම පොලීසියට ද යම් වගකීමක් තිබේ. සාමාන්‍ය ජනතාව ආණ්ඩුවෙන් මෙන්ම පොලීසියෙන් ද බලාපොරොත්තු වන්නේ තමන්ට නිදහසේ ජීවත්වීම සඳහා අවශ්‍ය සාමකාමී වාතවරණයකි.

නාගරික මන්ත්‍රී රන්ජන් ද සිල්වා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වගකිව යුත්තන් හෙළිකළ ආකාරයෙන්ම පහත සඳහන් ඝාතන පිළිබඳව වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරන ලෙස නාමල් රාජපක්ෂ - උදය ගම්මන්පිල ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිමු.

නඩරාජා රවිරාජ්, ටී. මහේෂ්වරන්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ, දමු දසනායක, ජානක පෙරේරා ඇතුළු මහජන නියෝජිතයන් ඝාතනය සම්බන්ධයෙන් එවකට පැවති රජය වගකිව යුතු බව උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරන්නේද ?

චන්ඩි මල්ලි හෙවත් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. රංජිත් කොළඹ අධි ආරක්ෂිත කලාපයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවකට පැවති රජය, සහ පොලීසිය වගකිව යුතු බව නාමල් රාජපක්ෂ මහතා පිළිගන්නේද ?

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ ඇතුළු මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සම්බන්ධයෙන එවකට පැවති රජය වගකිව යුතු නොවේද ?

කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, පොද්දල ජයන්ත ඇතුළු මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී මහමග අතහැර දමා යාම සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව නාමල් - ගම්මන්පිල පිළිගන්නේද ?

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද ?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය සම්බන්ධයෙන් එවක පොලීසියේ උසස් නිළධාරීන් සහ එවක පැවති රජය වගකිව යුතු බව ප්‍රකාශ කරන්නේද ?

රතුපස්වල, කටුනායක, හලාවත උද්ඝෝෂණවලදී වෙඩිතබා සාමාන්‍ය ජනතාව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එවක සිටි පාලකයන් වගකිව යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේද ?

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඇතුළු පාතාලයන් විසින් සිදුකළ ඝාතන සම්බන්ධයෙන් එවක පැවති ආණ්ඩුව සහ පොලීසිය වගකිව යුතු නොවේද ?

Latest Video

Powered by Blogger.