අනිකාට තර්ජනය කළ නෙත්තිකුමාරට නොතීසි.


බැඳුම්කර වංචාවට අදාළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට ජංගම දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියේ විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර නැමැත්තාට ලබන මස 25 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නොතීසි නිකුත් කර තිබේ.

මහෙස්ත්‍රාත්වරිය එසේ නොතීසි නිකුත් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඔහුට නොතීසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ පසුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොතීසි නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ ඉකුත් සඳුදා අධිකරණය නිකුත් කළ නියෝග පරිදි අනිකා විජේසූරිය යන අයට ජංගම දුරකථනය ඔස්සේ මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ විෂයගත සංවාදය ඇතුළත් ජංගම දුරකථන දෙකක සටහන් වී ඇති කටහඬවල් නිර්ණය කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ විත්තිකරු ඉකුත් බදාදා (23දා) පෙනී නොසිටීමේ හේතුව මතය.

සිද්ධියේ පැමිණිලිකරු වන විජිත විජේසූරිය සහ විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන දෙදෙනාටම කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක කාර්යාලයේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබුණු අතර විත්තිකරුට ඩෙංගු රෝගය වැලඳීම මත කටහඬ පරීක්ෂණයට යොමු වී නොතිබිණි.

තමාට ඩෙංගු රෝගය වැලඳී ඇති නිසා කටහඬ පරීක්ෂණය සඳහා යොමුවීමට හැකියාවක් නොමැති බව විත්තිකරු නීතිඥයකු මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි නිලධාරියා අධිකරණයට දන්වා තිබේ.

එය සලකා බලා මහෙස්ත්‍රාත්වරිය අධිකරණයේ පෙනී සිටීම සඳහා මාසයක කාලයක් විත්තිකරුට ලබාදෙනු ලැබීය. ඒ අනුව විත්තිකරු ලබන 25 වැනිදා අධිකරණයේ පෙනී සිටීන ලෙස නියෝග කර ඇත.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂණ කිරීම සහ විමර්ශනය කිරීම සඳහා වන කොමිසම හමුවේ තම සහෝදරිය වන අනිකා විජේසූරිය යන අය සාක්ෂි දීම සම්බන්ධයෙන් විත්තිකරු වන ශානිල් නෙත්තිකුමාර යන අය විසින් තම ජංගම දුරකථනයට කතාකොට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන සිද්ධියේ පැමිණිලිකරු වන විජිත විජේසූරිය යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කොට ඇත.

ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගමේ අධ්‍යක්ෂිකා අනිකා විජේසූරියට අයත් කොළඹ ‘මොනාච්’ රෙසිඩන්සීස් නිවාස සංකීර්ණයේ නිවෙසක් කුලියට ගැනීම සඳහා හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු ඔහුගේ පවුලට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රුපියල් මිලියන 1.4ක මුදලක් ගෙවීම සහ ඒ සඳහා බදු වශයෙන් රුපියල් මිලියන 7.3ක මුදලක් අර්ජුන් ඇලෝසියස් යන අයට අයත් පර්පචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් නමැති ආයතනයෙන් ගෙවීම පිළිබඳ සිද්ධියකට අදාළව අනිකා විජේසූරිය යන අය ජනාධිපති බැඳුම්කර කොමිසම ඉදිරියේ සාක්ෂි දෙනු ලැබුවාය.

ඇයට තර්ජනය කල මෙම ශානිල් නෙත්තිකුමාර නැමැත්තා රවී කරුණානායක මහතාගේ ඥාතියෙකු බවද කියැවිනි.

Latest Video

Powered by Blogger.