නාමල්ගේ ගවර්ස් කෝප් නඩුව විභාගයට.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් නැමති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඊයේ (30) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගෙන තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගය පැවැත් විය.

එහිදී රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ගේ මෙහෙයවීම යටතේ බොස්ටන් කැපිටල් l නමැති සමාගමේ සභාපති ලෙස කටයුතු කරන රොහාන් අභය ඊරියගොල්ල මහතා සාක්ෂි ලබා දී තිබේ.

ඉන් අනතුරුව විත්තියේ නීතිඥවරු විසින් සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කර ඇත.

හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා ඇත්තේ තමන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කටඋත්තර පහක් ලබා දුන් බවයි.

එම කටඋත්තර අතුරින් දෙකක් අසත්‍ය කටඋත්තර ලෙස සාක්ෂිකරු විසින් හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගෙන තිබේ.

පසුව මෙම නඩුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශයක් ලබාදුන් බවද  සාක්ෂිකරු  කියා ඇත.

වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම අද දිනට කල් තබා ඇත.

පසුගිය රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයට උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක්  ගවර්ස් කෝපරේට් නමැති සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හයදනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව මහතා මේ වනවිට අධිකරණය මඟහැර සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි, ඉරේෂා සිල්වා සහ ඉන්දික කරුණාජීව යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධීකරනය වැළක්වීමේ පනත යටතේ චෝදනා 11කින් යුත් අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරනය වෙත ලබා දී තිබිණි.

Info Sri Lanka TV

Powered by Blogger.