නියෝජ්‍ය කථානායක ධුරය අර්බුදයක : ජනපති හා අගමැති හමුවක්.


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා පුද්ගලයෙකු පත්කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට නොපැමිණීමහේතුවෙන් ආණ්ඩුවේ අර්බුදයක් මතුව ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ පුරප්පාඩුව ඇති නියෝජ්‍ය කථානායක ධුරයට පත්කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුරුන්දැයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් විමසීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි 'අද' ට වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂ අවබෝධතා ගිවිසුමට අනුව යහපාලන ආණ්ඩුව පවත්වාගෙන යන බැවින් එක්සත් ජාතික පක්ෂ මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ කථානායක ධුරය එක්සත් ජාතික පක්ෂයට හිමිවනවිට නියෝජ්‍ය කථානායක ධුරය ශ්‍රීලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ එම අවබෝධතා ගිවිසුමේ එකඟත්වය මතය.

එසේ වුවද ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමති, නියෝජ්‍ය ඇමති, රාජ්‍ය ඇමති තනතුරු පිරිනමා ඇතිහෙයින් නියෝජ්‍ය කථානායක තනතුර සඳහා සුදුස්සෙකු තෝරාගැනීම අපහසුවී ඇත.

හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙතෙක් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙක් පත් නොකිරීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන ඇත.

ජනපති හා අගමැති හමුවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි. කැබිනට් සංශෝධනයේදී නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වෙනු ඇතැයි වාර්තා වෙයි.


පසුපෙළ මන්ත්‍රීවරුන් පෙරේදා (02දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඔවුන් සිය විරෝධය දක්වා ඇත. ජනපති හා අගමැතිවරයා අතර හමුව ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

Info Sri Lanka TV

Powered by Blogger.