දේශීය ආදායමට බිලියන 50ක් අහිමි වූ අයිවන්ගේ සෙල්ලම්.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වෙමින් පවතින ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්දතිය (RAMIS) තුළ දැනට පැනනැගී ඇති බරපතල ගැටළු විසඳීමට ආයතන ප්‍රධානීන් නිසි පියවර නොගැනීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 50ක පමණ අතිරේක බදු ආදායමක් අහිමිවෙමින් ඇති බව වෘත්තීය සමිති චෝදනා කරයි.

"ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ (RAMIS) පවතින බරපතල ගැටළු වලට විසඳුම් ලබාදීමට ක්‍රියා නොකිරීම" යන ශීර්ෂයෙන් යුතුව දේශීය ආදායම් සේවා සංගමය සහ "දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ RAMIS ( ආදායම් පරිපාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධතියේ) දුර්වලතා නිවැරදි නොකිරීම මත රටේ සමස්ථ බදු ආදායමට වන්නාවූ අහිතකර බලපෑමට විරෝධය පළකිරීම" යන ශීර්ෂයෙන් යුතුව දේශීය ආදායම් තක්සේරු නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති 2 මේ සම්බන්ධව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත ලිඛිතව දැනුම්දී ඇත.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් දැනුවත් කළත් වැඩක් වෙලා නෑ 

පසුගිය මැයි 2 වනදා එම ලිඛිත දැනුම්දීම සිදුකර ඇති අතර එහි අවධාරණය කොට දක්වා ඇත්තේ RAMIS හී  පැන නැගී ඇති දුර්වලතා නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස අවස්ථා ගණනකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඇතුළුව ඉහළ පරිපාලනය දැනුවත් කරමින් යෝජනා ඉදිරිපත් කර සිටියත් එම ඉහළ පරිපාලනය මේ දක්වා ඊට සාධනීය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවය.

ප්‍රධාන කරුණු 5ක් ඇමතිගේ අවධානයට 

මේ සම්බන්ධව ලිඛිතව දන්වමින් වෘත්තීය සමිති ප්‍රධාන කරුණු 5ක් කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානයට ලක්කර ඇත. ඒ, 

1. 2015/2016 තක්සේරු වර්ෂයේ බදු ලිපිගොනු විගණනය සහ විමර්ශන කටයුතු බිඳ වැටීම, මේ හේතුවෙන් රුපියල් බිලියන 50ක පමණ අතිරේක බදු ආදායමක් අහිමිවීම.
2. RAMIS පද්ධතියේ දුර්වලතා හේතුවෙන් එකතුකළ අගය මත බදු ආපසු ගෙවීමේ ක්‍රියාවලිය (VAT REFUND) යථා තත්ත්වයට පත් නොවීම.
3. RAMIS පද්ධතිය හා සම්බන්ධ වියයුතු අනෙකුත් ආයතනික ව්‍යුහයන් (Interface Agencies) මේ දක්වා සම්බන්ධ නොකිරීම හේතුවෙන් තොරතුරු පද්ධතිය යථාවත් කිරීමට නොහැකිවීම.
4. දෙපාර්තමේන්තු නිලධාරීන්ට, බදු ගෙවන ජනතාවට හා බදු උපදේශකයින්ට RAMIS පද්ධතියේ කටයුතු පහසු නොවීම හේතුවෙන් ඇතිවී තිබෙන ව්‍යාකුලත්වය.
5. RAMIS පද්ධතිය තුළ සහ කළමනාකරණ කාර්යය පටිපාටියෙහි පවතින නොගැළපීම් සහ දුර්වලතා.

මෙම ප්‍රධාන ගැටළුකාරී කාරනා අවධාරණය කරන වෘත්තීය සමිති වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය බදු ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කළයුතු නිවැරදි උපායමාර්ගික සැළැස්මක් නොමැතිව ප්‍රාථමික මට්ටමේ වැඩසටහන් වලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ පරිපාලනය තල්ලුවී ඇති බවය.

බිලියන ගණනක් වැයකර වෙන වැඩකටත්  අතගහලා 

එසේම රුපියල් බිලියන 6 කට ආසන්න මුදලක් වැයකර ක්‍රියාත්මක කරන ලද RAMIS ව්‍යාපෘතියේ ගැටළු නිවැරදි කිරීම වෙනුවට කිසිඳු විශේෂඥ උපදේශයකින් තොරව තවත් රුපියල් බිලියන ගණනක් වියදම් කරමින් නව දේශීය ආදායම් පනතට අදාළ පරිගණක පද්ධතිය සකස් කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් ද මේ වන විට දෙපාර්තමේන්තුව අරඹා ඇති බවත් එම ලිපියක අනාවරණය කර ඇත.

නව පනතේ අපේක්ෂා ඉටුනොවීමේ අවධානමක් !

එය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තවත් ගැටළු ගණනාවකට හේතුවිය හැකි බව පෙන්වාදෙන වෘත්තීය සමිති RAMIS ව්‍යාපෘතියේ සහ නව පනතේ  මුලික අපේක්ෂාව වූ බදු ආදායම ඉහළ නැංවීම සහ බදු ක්‍රමය සරල කිරීම හරහා කාර්යක්ෂම දෙපාර්තමේන්තුවක් බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පත් කිරීම වෙනුවට අවුල් ජාලාවක් බවට එය පත්වීමේ අවධානමක් මතුව ඇති බවද අවධාරණය කර ඇත.

ඒ අනුව ඔවුන් අමාත්‍යවරයා වෙතින් ඉල්ලා ඇත්තේ මෙම පවතින අර්බුදය සඳහා අමාත්‍යවරයාගේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවය. එසේ නොවුවහොත් ආයතනය රැකගැනීම වෙනුවෙන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති සුදානම් බව කණගාටුවෙන් වුවත් දැනුම්දෙන බවද  එමඟින් වැඩිදුරටත් දන්වා ඇත.

(News Tube)

Info Sri Lanka TV

Powered by Blogger.