'ගැටලුව රනිල් නොවේ පක්ෂ ප්‍රතිපත්ති' - චමල් රාජපක්ෂ.


 බලයෙන් පහ කළ යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද යන්න ගැටලුවක් නොවන බවත් ගැටලුව වන්නේ ඒ පක්ෂයේ තිබෙන ප්‍රතිපත්ති බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (05) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පැවති දානමය පුණ්‍ය කර්මයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

සංවර්ධනය කරා ගමන් කිරිමේදී රටට විධායක බලයක් සහිත ජනපතිවරයෙකු අවශ්‍ය බව කී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"මේ ආණ්ඩුවෙත් විධායක ජනපතිවරයෙක් නොසිටියා නම් රටේ කිසිදු සම්පතක් ඉතිරි වන්නේ නැහැ. විදේශ රටවලට සම්පත් සියල්ල විකුණා දමා හිතුවක්කාර ලෙස කටයුතු කරයි. මේවා යම් තරමක් හෝ පාලනය වෙලා තිබෙන්නේ විධායක ජනපතිවරයෙකු සිටින නිසයි. ඒ නිසා රටේ ස්වාධීන බව ඇති කරන තුරු, ජාත්‍යන්තර ගැටලු විසඳා ගන්නා තුරු විධායක ජනපතිවරයෙකු රටට අවශ්‍යයි.

බලයෙන් පහ කළ යුත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද යන්න නොවෙයි ගැටලුව. ගැටලුව වන්නේ ඒ පක්ෂයේ තිබෙන ප්‍රතිපත්තියයි. ඔවුන් රටට සුදුසු ද යන්න සිතා බැලිය යුතුයි. පසුගිය වසර තුනක කාලය තුළ රට ගමන් කරවීමට උත්සහ කළේ කුමන ක්‍රමයටද යන්න ඉතා පැහැදිලියි. එවැනි ප්‍රතිපත්තියක් රටට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අග්‍රාමාත්‍යවරයා පළවා හැරීමට වඩා අහිතකර ප්‍රතිපත්ති සහිත පක්ෂය පළවා හැරීමට කටයුතු කළ යුතුයි.

ආණ්ඩුවට එරෙහි කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීම සුදුසු බවයි මගේ හැඟීම. දැන් ජනතාව ඔවුන් සමග එක් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රට පාලනය කළ නොහැකි පක්ෂයක් පළවා හැරීම සඳහා ප්‍රබල විපක්ෂය කටයුතු නොකරන්නේ නම් ඒ වෙනුවෙන් ජනතාව පාරට බසියි. 

අද බලන්න මිනිසුන් ජීවත්වන හැටි. ග්‍රාමීය ජනතාවට ජීවන වියදම දරා ගන්න බැහැ. ව්‍යාපාරිකයාට බදු බර උසුලන්න බැහැ. මේ ආණ්ඩුව උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ඉවත් කිරීමට පමණයි. ඒ කාලයේ රටේ සිදු කළ සංවර්ධනය හඳුනාගෙන රටට වාසිදායක සංවර්ධනයක් ළඟා කර දීමට ඔවුන් සමත්වුණේ නැහැ. මේ නිසා රට අවුලෙන් අවුලට පත්වුණා"

Info Sri Lanka TV

Powered by Blogger.