වස විස නැති ගොවිකමට මහින්දගෙන් පොරොන්දුවක්?

වස විස නැති ගොවිකම ඉදිරියට ගෙනයාම සඳහා නව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොරොන්දු ලබාදී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔහු පොරොන්දු පමණක් ලබා නොදී ක්‍රියාවෙන්ද එය ඔප්පු කිරීම සඳහා මීළඟ කන්නයේදී ඒ මහතාට අයත් හම්බන්තොට පිහිටි සිය පෞද්ගලික කුඹුර වස විසෙන් තොර වී ගොවිතැනට යොමුකිරීමට කටයුතු යොදා ඇති බවද වාර්තා වේ.

මේ සඳහා 'වස විස නැති රටක්‌' ජාතික වැඩසටහනේ පුරෝගාමීන් වන ජනාධිපති කාර්යාලයේ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයෙ (සෙමා) හි උපදේශක සහය ලබා ගැනීමට ද අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

මහින්දගේ පළමු කැබිනට් පත්‍රයත් වස විස නැති ගොවිතැන වෙනුවෙන් 

අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය භාර ගැනීමෙන් පසුව ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම්වන පළමු කැබිනට් පත්‍රිකාව වන්නේ ජෛව විද්‍යාත්මක ගොවිතැන් සිදු කරනු ලබන ගොවීන්ට පොහොර සහනාධාරය නැවත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධ කැබිනට් පත්‍රිකාව බවද මේ අතර වාර්තා වේ.

රසායනික ගොවිතැන් සිට ජෛව විද්‍යාත්මක ගොවිතැන කරා ගොවිතැන රැගෙන යැම සඳහා වස විස නැති රටක්‌ තුන් අවුරුදු ජාතික සැලැස්‌ම 2016 වසරේදී ආරම්භ කෙරුණු අතර, 2019 වසරේදී එය නිමාවට පත්වීමට නියමිතව ඇත.

'වස විස නැති රටක්‌’ වැඩ සටහන ක්‍රියාවට නංවන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමිනි.

එම සංකල්පයේ පුරෝගාමියා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කටයුතු කළහ.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මහින්ද අමරවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

(SLM)

Info Sri Lanka TV

Powered by Blogger.