Ad

රනිල් කර අරියි : රවීගේ ඇමතිකම එජාප කෘත්‍යාධිකාරීයට.


එජාප උප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ඇමතිකමක් ලබා දෙන්නේ ද නැද්ද යන කාරණය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා තීන්දු කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ, රවී කරුණානායක මහතාට ඇමතිකමක් ලබාදුනහොත් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් විරෝධයක් මතුවිය හැකි බවට එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් හා එම පක්ෂයේ හිටපු සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පක්ෂ නායකයා බිය ගැන්වීම හේතුවෙන් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ජනාධිපති විරෝධයක්?

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට ඇමති ධුරයක් ලබාදීමට අගමැතිවරයා නිර්දේශ කර ඇතත් ජනාධිපතිවරයා ඊට විරෝධය පළකර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කල විමසීමේදී ඔහු කියා සිටියේ අගමැතිවරයා ගෙන් එවැනි නිදේශයක් මෙතෙක් ලැබී නැති බවයි.

එජාපයේ තවත් 04කට නියෝජ්‍ය ඇමතිකම් !

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට නියෝජ්‍ය ඇමතිකම් ලබාදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වී ඇතැයි ද 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

ඒ එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවී ඇති විරෝධය සැලකිල්ලට ගනිමිනි.

පසුගිය මැතිවරණ වලදී පක්ෂයේ ජයග්‍රහණ වලට ක්‍රියාකාරිව දායකවූ මන්ත්‍රීවරුන්ට කැබිනට් සංශෝධයකදී නියෝජ්‍ය ඇමතිකම් ලබාදෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස භංගය ඉදිරිපත් වූ අවස්ථාවේදී පොරොන්දු වී තිබිණ.

කෙසේවුවද නව ඇමැති මණ්‌ඩල සංශෝධනය යටතේ එතෙක්‌ පැවැති 47 කින් යුත් ඇමැති මණ්‌ඩලය 42 දක්‌වා අඩු වී ඇති අතර ඊට අදාලව එජාපයට හිමි නියෝජ්‍ය අමාත්‍යවරුන් ද පත්කර අවසන්ව තිබේ.

ඒ අනුව ශ්‍රීලනිපයට වෙන්කර ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් එජාපයට ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ජා කරන ලෙස අගමැතිවරයා විසින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාට උපදෙස් දී ඇතැයි ද පැවසේ.

ඊට ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනහොත් එජාපයේ පසුපෙළ සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුට නියෝජ්‍ය ඇමතිකම් ලබාදෙන බවට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ප්‍රකාශකර ඇතැයි ද වාර්තා වේ.

Powered by Blogger.