Ad

ශ්‍රී ලාංකීය පොඩ්ඩෝ විස්කම් පායි : පළමු දිනයේම පදක්කම් 5ක්.


2018 දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඊයේ (05) සුගතදාස ක්‍රීඩා පිටියේ දී ආරම්භ විය. රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රථම දිනය අවසානයේ දී පදක්කම් සටහනේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි විය. ඒ රන් පදක්කම් 5ක අයිතිය ලක්මාතාවට දිනා දෙමිනි. සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ ඉන්දියාවයි. දිනය අවසානයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වාර්තා 4කට හිමිකම් කියන්නට සමත් විය.

දිවා කාලයේ පැවති තරග අතරින් මීටර් 400 පිරිමි ඉසව්ව නියෝජනය කළ අරුණ දර්ශන මීටර් 46.55ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කමක් දිනා ගනිමින් නව තරග වාර්තාවක් පිහිටු විය. මෙම ඉසව්වේම දෙවන හා තෙවන ස්ථාන ද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දිනා ගත් අතර ඔවුන් පිළිවෙළින් එල්. කොඩිකාර (46.99) සහ පබසර නීකු (47.43) ය.


සවස් කාලයේ දී මීටර් 100 කාන්තා අවසන් තරගය පැවැත්වූ අතර ඉතා උණුසුම් මුහුණුවරක් ගත් එම ඉසව්ව නියෝජනය කළ අමාෂා ද සිල්වා තත්පර 11.92 ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් අලුත් කළාය. ඒ තවත් රන් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙමිනි.

දකුණු ආසියාවේ ශ්‍රී ලංකාවටම ආවේණික වූ ඉසව්වක් වන මීටර් 400 කාන්තා ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීමට ශ්‍යාමලී කුමාරසිංහ සමත් විය. ඒ තත්පර 54.47 කාලයක් වාර්තා කරමිනි.


මීට අමතරව  දිනයේ අවසන් භාගයේ ශ්‍රී ලංකාව සහභාගී වූ උද්වේගකරම තරගය වන 100×4 සහය දිවීමේ කාන්තා ඉසව්වය ආරම්භ විය. පළමු යෂ්ටි හුවමාරුවේ සිටම ඉන්දියාව සමඟින් කරට කර සටනක් ධාවන පථයේ දක්නට ලැබුණි. ජවයත්, මනා හැකියාවත් මැනවින් උපයෝගී කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තත්පර 46.23ක කාලයක් වාර්තා කරමින් නව තරග වාර්තාවක් සමඟින් තවත් රන් පදක්කමක පහස ශ්‍රී ලංකාවට උරුම කර දුන්හ.


මීට අමතරව දිනයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ලෙස මීටර් 100×4 පිරිමි ඉසව්වේ යෂ්ටිය අත හැරී යාම දැක්විය හැකිය. දෙවන යෂ්ටි හුවමාරු කලාපය වෙත පැමිණෙන විටදීත් ඉසව්වේ පැහැදිලි ඉදිරිය ශ්‍රී ලංකාව සතු වී තිබුණ ද, තෙවන යෂ්ටි හුවමාරුව සිදු කළ චමෝද් යෝධසිංහ අතින් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව ගිලිහී යන්නේ සියල්ලන්ගේම බලාපොරොත්තු සුන් කරමිනි.

ශ්‍රී ලංකාව පිහිටවූ තරග වාර්තා හැරුණු කොට ඉන්දියාව ද තරග වාර්තා 5කට හිමිකම් කීය.

මීටර් 1500 පිරිමි ඉසව්ව නියෝජනය කළ අන්කිත් මිනිත්තු 3.51.52ක කාලයක් වාර්තා කරමින් එක් තරග වාර්තාවක් ද, දුර පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ ලෝකේශ් සත්‍යන් මීටර් 7.74ක දක්ෂතාවයක් පෙන්වමින් තවත් තරග වාර්තාවක් ද පිහිට විය. හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දියාවේ අර්ශ්දිප් සිං මීටර් 71.47ක දක්ෂතාවයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර මීටර් 1500 කාන්තා ඉසව්වෙන් දුර්ගා ප්‍රමෝද් මිනිත්තු 4.31.38ක කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් ඉන්දියාව දිනා දුන්නාය. අවසන් වශයෙන් මීටර් 100 කඩුලු මතින් දිවීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ සප්නා කුමාරි තත්පර 14.19ක  කාලයක් වාර්තා කරමින් තවත් තරග වාර්තාවක් පිහිට වූ අතර යගුලිය විසි කිරීමේ කාන්තා ඉසව්ව වෙනුවෙන් සහභාගී වූ කිරාන් බල්යාන් ද මීටර් 14.77ක දක්ෂතාවයක් දක්වමින් ඉන්දියාව රනින් බැබළ විය.


දිනය අවසානයේ දී පදක්කම් සටහනේ පෙරමුණ ඉන්දියාව දිනා ගත්තේ රන් පදක්කම් 11ක්,  රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගනිමිනි. ශ්‍රී ලංකාව සටහනේ දෙවන තැන දිනා ගත්තේ රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් 10ක් දිනා ගනිමිනි.

එක් රිදී පදක්කමක් සමඟින් පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා සිටින්නේ පාකිස්තානයයි.

අද (06) තරගාවලියේ අවසන් දිනයයි. 

මීටර් 200 ඇතුළුව තවත් ශ්‍රී ලංකාවට වැදගත් වන ප්‍රධාන ඉසව් කිහිපයක්ම අද  දිනයේ ක්‍රියාත්මක වීමට නියමිතයි. 

(සටහන සහ සේයාරූ : ThePapare.com)

Powered by Blogger.