තාජුඩීන්ට SMS එවූ රශ්මි.


ඝාතනයට ලක්වූ රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය සිදු වූ 2012 මැයි මස 17 වැනිදා රාත්‍රී 12.32ට තාජුඩීන්ගේ ජංගම දුරකතන අංකයට සැක කටයුතු SMS පණිවිඩයක් ලැබී ඇති අතර එය එවා ඇත්තේ මරියානා රශ්මි ද සිල්වා නැමැත්තියක් විසිනි.

ඒ පිළිබඳව අදාළ කාන්තාවගෙන් සහ තවත් පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන විමර්ශන සිදුකරමින් සිටින බව පැවසේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සමීපතම ඥාතීන්ට වසර 2012 ජනවාරි 01 වැනිදා සිට 2015 මැයි 30 දක්වා ආරක්ෂාව සැපයූ නාවික හමුදා නිලධාරීන් පිළිබඳ තොරතුරු, ඔවුන් භාවිත කළ තොරතුරු සටහන් පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන යනාදිය තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ විමර්ශන වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය බව පසුගිය 03 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

මෙම ඝාතන සිද්ධියට අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබේ.

තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සාක්ෂිකරුවන් වන්නේ  මොහොමඩ් සාකීර් බදුර්දීන්, චාමින්ද ජෙයප්‍රකාශ් සහ මරියානා රශ්මි ද සිල්වා යන අය වන අතර මේ අය අතුරෙන් මරියානා රශ්මි ද සිල්වා යන අය චාමින්ද ජෙයප්‍රකාශ්ගේ පෙම්වතිය වශයෙන් හඳුනාගෙන ඇති බව පැවසේ.

සැබවින්ම මරියානා රශ්මි ද සිල්වා යන අය  මෙම සිදුවීමට සම්බන්ධ වන්නේ එදින රාත්‍රියේ මධුවිත පානය කළ ස්ථානය ස්ථිර කිරීමට සහ එකී ස්ථානයේ සිට සිදුවීම සිදුවූ ස්ථානය අතර ඇති සහ-සම්බන්ධකම් ප්‍රත්‍යක්ෂ කිරීමටය. මරියානා රශ්මි ද සිල්වාගේ සාක්ෂිය ඉතා වැදගත් සාක්ෂියකි.

ඉහත අවාසනාවන්ත සිදුවීම 2012 මැයි මාසයේ 16 වැනිදා මැදියම් රැයේ සිදුවුවද නාරාහේන්පිට පොලීසිය විසින් ප්‍රධාන සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් ලබාගන්නේ  21 වැනිදා බව පොලීසිය විසින් මාධ්‍යවෙත නිකුත් කරනු ලැබූ වාර්තා නිරීක්ෂණය කරන විට පෙනීයන කරුණකි.

මෙම සාක්ෂි සටහන් පරික්ෂා කර බැලූවිට පරස්පරතාවයන් රාශියක් තිබෙන බව පැහැදිලිව ඇතැයි පැවසේ. 

එයින් එක් කරුණක් වන්නේ මරියානා රශ්මි ද සිල්වා කියන ආකාරයට සාක්ෂිකරුවන් දෙපල සහ තජුඩීන් ඇන්ඩර්සන් පෙදෙසේ නිවසින් පිටව යන්නේ රාත්‍රී 11 ට පමණය. නමුදු මොහොමඩ් සාකීර් බදුර්දීන් සහ චාමින්ද ජෙයප්‍රකාශ්  සදහන් කරනුයේ ඔවුන් පිටව ගියේ රාත්‍රී 11.30 ට  පමණ බවය. මෙවැනි පරස්පරයක් ඇතිවූයේ මන්ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

සාක්ෂි අනුව තාජුඩීන් පළමුව අංක 36 ගල්හේන පාර, ගංගොඩවිල, නුගේගොඩ පිහිටි චාමින්ද ජෙයප්‍රකාශ්ගේ නිවසට යන අතර  පසුව අංක 15, නිහාල් සිල්වා මාවත, කිරුළපන පිහිටි මොහොමඩ් සාකීර් බදුර්දීන්ගේ  නිවසට ගිය බවත් සාක්ෂිවල සටහන් වේ. පසුව තජුඩීන් පදිංචිව සිටි කොළඹ 06, මුරුගන් පෙදෙස නිවස වෙත යනබව පවසා පිටව ගිය බවත් සාක්ෂිවල සටහන් ඇතැයි පැවසේ.

මෙම ප්‍රධාන සක්ෂිකරුවන්ගේ ප්‍රකාශවලට අනුව මරියානා රශ්මි ද සිල්වා ඇන්ඩර්සන් පෙදෙසේ නිවසින් පිටව ගොස් ඇත්තේ රාත්‍රී 11.30 ට පමණය.

තවත්, වැදගත් කරුණක් වන්නේ තජුඩීන් කොළඹ 06, මුරුගන් පෙදෙසේ ඇති තම නිවස පසුකරමින් කිලෝමීටර් 1.5 ක් ඈතින් අනතුර සිදු වූ ස්ථානය වූ පාර්ක් පාර වෙත ගමන් කළේ කුමන හේතුවකට ද යන්නයි.

Latest Video

Powered by Blogger.