පීඩාවට පත්වූවන්ට ලක්ෂ 890ක විදෙස් ආධාර.



ස්වාභාවික හේතූන් මත පීඩාවට පත්වන ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 890 (ඔස්ට්‍රේලියානු ඩොලර් 750,000) ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා ඔස්ට්‍රේලියානු රජය, ලෝක ආහාර වැඩසටහන සහ යුනිසෙෆ් ආයතනය පියවර ගෙන ඇත.

 ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට අත්සන්කර තිබෙන අතර ගංවතුර, සුළි සුළං, නායයාම් සහ නියං තත්ත්වයන් වැනි විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්වන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙයි. ස්වාභාවික හේතූන් මත පීඩාවට පත්වන පුද්ගලයින් අතරින් සියයට 96ක් පමණ මෙවැනි ස්වාභාවික තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත්වෙයි.

වැඩිම ආපදා තත්ත්වයකට මුහුණ දී තිබෙන රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, මුලතිවු සහ මඩකළපුව දිස්ත්‍රික්ක ඒ අතර වෙයි. කුඩා දරුවන්ගේ සහ ගර්භනී කාන්තාවන්ගේ ආරක්ෂාව මෙන්ම පෝෂණය මේ ආධාර වැඩසටහන හරහා විශේෂ අවධානය යොමු කෙරේ.

ශ්‍රී ලංකාවට බලපෑ ආපදා තත්ත්වයන් හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයේ දී ලක්ෂ 13 ක පිරිසක් පීඩාවට පත්ව තිබෙන අතර 2016 හා 2017 වසරවල සිදුවූ ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 191ක් අතුරුදන්ව තිබෙන බවට වාර්තා වෙයි. මේ ආධාර වැඩසටහන 2018 - 2020 වසර තුනක කාලයක් සඳහා ක්‍රියාත්මක වෙයි.

පසුගිය 2016 වසරේ ගෝලීය දේශගුණික අවධානම් දර්ශකයට අනුව කලාපයේ වැඩිම දේශගුණික විපර්යාසයන්ට ලක්වූ රටවල් අතර සිවුවැනි තැනට ශ්‍රී ලංකාව පත්ව තිබෙන අතර ගංවතුර සහ නියං තත්ත්වයන් හේතුවෙන් දැඩිහානි සිදුව තිබේ. මේ හේතුවෙන් සමාජයීය මෙන්ම ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල විය. පසුගිය 2004 වසරේ දී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි ව්‍යසනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වූ අතර එමඟින් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ඔස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ආධාර ලබාදී තිබේ.

ප්‍රධාන මානව හිමිකම් සංවිධාන දෙකක් සමඟ එක්ව ශ්‍රී ලංකාවට මෙලෙස ආධාර කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් වික්ටෝරියා කොක්ලේ පවසයි.

ළමුන්, කිරිදෙන මවුවරුන් සහ ගර්භනී කාන්තාවන්ගේ සුරක්ෂිත බව සහ පෝෂනය කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුකරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික ප්‍රධානී ගුයෙන් ඩක් හොන්ග් ප්‍රකාශ කරයි.

යුනිසෙෆ් ආයතනයේ මෙරට නේවාසික නියෝජිත ටිම් සට්න් මහතා ද මේ අවස්ථාවට එක්විය. 

Info Sri Lanka TV

Powered by Blogger.