Ad

පොලිස්පති එලවන බවට ජනපතිගෙන් සංඥාවක්.




පාතාල අපරාධකරුවන් හිස එසවීමට පටන්ගෙන ඇති බවට රජයට එල්ලවන චෝදනා වල සත්‍යයක් ඇතැයි පවසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවිය යුතු අතර එසේ නොමැති නම් ඊට අදාළ වගකිව යුත්තන් ඉවත්කර ඒ වෙනුවට වෙනත් අය පත් කිරීමට සුදානම් බව කියා සිටියි.

ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ,  ඒ පිළිබඳ ප්‍රමුඛ වගකීම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට පැවරෙන බවයි.

වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

නීතියේ ආධිපත්‍යය :

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ අධිකරණ ක්ෂේත්‍රයේ කිසිවෙකු දේශපාලනඥයන් පසුපස යන පසුබිමක් රට තුළ නිර්මාණය නොවිය යුතු බවයි.

එවැනි පසුබිමක් නිර්මාණය වීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ කිසිසේත් සුදුසු නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අධිකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව සියලු ක්ෂේත්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක් තුල තම රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා කියා සිටියේය. 

පරිගණක අපරාධ බරපතල කාරණයක් :

රට තුල තහවුරු වූ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්ති විඳීමට ඇතමුන් කටයුතු කිරීම හේතුවෙන් සමාජයට නොගැලපෙන බොහෝ ක්‍රියාකාරකම් අත්විඳීමට සිදුව ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසිය. 

පරිගණක සහ ජංගම දුරකථන අපරාධ පිළිබඳ වර්තමාන වාර්තා ඉතා කණගාටුදායක වන අතර එම බරපතල තත්වය පිළිබඳ අදාළ සෑම අංශයක් විසින්ම තීන්දු තීරණ ගත යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් උසස්වීම් ලබාදීමේදී අසාධාරණයක්? 

පොලිස් උසස්වීම් ලබාදීමේදී පොලිස් උප සේවාවේ සිට නිත්‍ය සේවාවට පැමිණි පිරිස්වලට දැඩි අසාධාරණයක් සිදු කරමින් ඇතැයි නිත්‍ය සේවාවට පැමිණි පොලිස් නිලධාරීහු සඳහන් කරති.

30 වසරක් පුරා පැවැති යුදමය තත්ත්වය හා වෙනත් හේතූන් සැලකිල්ලට ගෙන පොලිස් උප සේවාවට පොලිස් නිලධාරීන් බඳවාගත් බවද එම පිරිස් පෙන්වා දෙති.

මේ අනුව සමස්ත පොලිස් සේවාව තුළ සිටින 32,000කට අධික පිරිසක් උප සේවය යටතේ පොලීසියට එක් වී ඇති බවත්, මෙම සියලු දෙනා 2006 වසරේ පෙබරවාරි මාසයේ සිට නිත්‍ය සේවාවට ඇතුළත් කරගත් බවත් එම පිරිස් සඳහන් කරති.

නිත්‍ය සේවාවට බඳවා ගැනීමේදී සමස්ත පොලිස් සේවා කාලය උප සේවයට බැඳුණු දා සිට ගණනය කිරීමට තීරණයක් ගත් බවත්, 2017 වසර අවසන් වනතෙක් එම පදනමින් උසස්වීම් ලබාදුන් බවත් එම පිරිස් පෙන්වා දෙති.

එහෙත් මේ වනවිට උසස්වීම් ලබාදීමේදී සලකා බලන්නේ 2006 පෙබරවාරි මාසයේදී සේවයට එක් වූයේය යන පදනම යටතේ බවත්, මේ හරහා පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් එම පිරිස් කියා සිටිති.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සඳහන් කළේ පොලිස් කොමිසමේ නිර්දේශ මත පොලිස්පතිවරයා විසින් පත් කරන ලද කමිටුවක් විසින් ගන්නා ලද තීරණයකට අනුව උප සේවා කාලය ගණනය නොකිරීමට තීරණය කළ බවයි.

2017 අවසන් කාලයේ සිට මෙම ගණනය කිරීම සිදු නොකරන බවත්, 2006 සිට 2017 වසර වනතෙක් සිදු වී තිබෙන්නේ වරදක් යැයි තීරණය වී තිබෙන අතර, එම වරද දිගටම සිදුකළ නොහැකි බවත් ඒ මහතා සඳහන් කළේය.


අදාළ කාලය සැලකිල්ලට ගෙන උසස්වීම් ලබාදීම නිසා පරිපාලන ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙන බවද හෙතෙම කියා සිටියේය.

Powered by Blogger.