ඇට මිඳුළු බද්ධ කිරීම් ජාතික රෝහලේදී : රෝහල් 13ක් සංවර්ධනයට ඩොලර් මිලියන 85ක්.



තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුළු බද්ධකිරීම ලබන ජනවාරි මාසයේ සිට ජාතික රෝහලේදී ආරම්භකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

අද (14දා) දිනයට යෙදුණු ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින සැමරීමේ ජාතික උත්සවයට එක්වෙමින් නෙළුම්පොකුණ රංගශාලාවේදී අමාත්‍යවරයා මේබව කීවේය.

තැලසීමියා රෝගීන්ට ඇටමිදුළු බද්ධය සඳහා විදෙස්ගතවීමේදී විශාල මුදලක් වැයකිරීමට සිදුවන බවත්,  මෙරට සිටින අසරණ පවුල්වලට එය දරාගත නොහැකි මුදලක් බවත් ඔහු කීය.

ජාතික රෝහලේ මහල් අටකින් යුතු තැලසීමියා සංකීර්ණය ලබන ඔක්තෝබර් මාසය වනවිට විවෘත කරන බවත්, ඒ අනුව 2019 ජනවාරි මාසයේ සිට ඇටමිදුළු බද්ධ කිරීම් සිදුකරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.


රෝහල් 13ක් දියුණු කරන්න චීනයෙන් ඩොලර් මිලියන 85ක්

තෝරාගත් රෝහල් 13ක් සංවර්ධනය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 85ක සහනදායී ආධාර මුදලක් චීන සමූහාණ්ඩුවෙන් මෙරට රජයට ලැබී තිබේ.

එම ආධාර මුදල භාවිතා කරමින් මීරිගම, සමන්තුරේ, එරාවුර්, පොතුවිල්, රිකිල්ලගස්කඩ, මැදිරිගිරිය, පදවිය, වලස්මුල්ල, කලවාන, මහියංගණය මූලික රෝහල් ද, දර්ගා නගරය, අලුත්ගම, කල්පිටිය ප්‍රාදේශීය රෝහල් ද සංවර්ධනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම රෝහල්වල බාහිර රෝගී අංශය, සායන සංකීර්ණ, වාට්ටු සංකීර්ණ, මාතෘ ඒකක, ඖෂධ ගබඩා, බෝ නොවන රෝග ඒකක, රුධිර පාරවිලයන මධ්‍යස්ථාන, රසායනාගාර, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, මාතෘ වාට්ටු සංකීර්ණ ඇතුළු තවත් සේවා ස්ථාන රැසක් සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය යටතේ ඩොලර් මිලියන 30 ක් වටිනා වෛද්‍ය උපකරණ ද එම රෝහල්වලට ලබාදීමට කටයුතු යොදා ඇත.


මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස අලුත්ගම ප්‍රාදේශීය රෝහලේ වාට්ටු සංකීර්ණය, ඖෂධ ගබඩාව, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය සහ බෝ නොවන රෝග ඒකකය ඉදිකිරීමට මුල්ගල් තැබීම ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (15) උදෑසන 10ට රෝහල් භූමියේ දී සිදු කෙරේ.

Latest Video

Powered by Blogger.