'නියඟයට හසුවූ ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ගත් ණය කපා දමනවා' - ඇමති මංගල.



පසුගිය නියඟය බලපෑ ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ලබා ගත් ණය කපා හැරීමට පියවර තීරණය කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  පවසයි. 

සමෘද්ධි බැංකු හරසර 2018 උළෙලට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ  (31) පැවැත්වුනි. 

ඇතැම් ප්‍රදේශවල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල අතකොලු බවට පත්ව සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබේ.

වැඩි දුරටත් අදහස් දැක් වූ මංගල සමරවීර අමාත්‍යවරයා, “තවමත් මේ රටේ විශාල පිරිසක් ඉතා පහළ ආදායම් ලබන දරිද්‍රතාවයෙන් පීඩා විඳින තත්ත්වයක පසුවෙනවා.  අපේ රටේ දරිද්‍රතාවය නාගරික ප්‍රදේශවල 1.9%, ග්‍රාමීය පළාත්වල 4.3% වගේම වතු අංශයේ 8.8%  දකින්න පුළුවන්. තවත්මත් කිලිනොච්චිය වැනි දුෂ්කර දිස්ත්‍රික්කවල දරිද්‍රතාවය 18.2% වගේ ඉහළ මට්ටමක තියෙනවා.  ඒ වගේම මොණරාගල, මුලතිව්, මඩකලපුව, බදුල්ල, ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කවලත් දරිද්‍රතාවය ඉතා ඉහළයි.

2012 දී 6.7% තිබුණ මේ රටේ දරිද්‍රතාවය අද වෙන කොට 4.1% දක්වා අඩුවෙලා  

ලංකාව දකුණු ආසියාවේ අන්ත දුගී බව අඩුම රට විදිහට අපිට ගොඩක් සතුටුවෙන්න පුළුවන්.  නමුත් විවිධ දුෂ්කරතා මැද්දේ දරිද්‍රතාවයෙන් ගොඩ එන ජනතාවට දිගටම තමන්ගේ ආදායම් මට්ටම හොඳ තත්ත්වයක තියාගන්න බැරි වුණොත් ආයෙමත් ඔවුන් අතර දුප්පත්කම හිස ඔසවන්න පුළුවන්.  ඒ වගේම 2012 දී 6.7% තිබුණ මේ රටේ දරිද්‍රතාවය අද වෙන කොට 4.1% දක්වා අඩුවෙලා තියෙනවා. මේ අඩුවීම සම්බන්ධයෙනුත් සමෘද්ධි බැංකුවට අපි  ස්තුතිය පුදකරන්න ඕනෙ. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ප්‍රකාශිත එකඟතා අනුව 2030 අවුරුද්දේ දී තිරසාර සංවර්ධන ඉලක්කයක් විදියට සම්පූර්ණයෙන්ම දරිද්‍රතාවය අපේ රටෙන් තුරන් කරන්න ඕනේ.  

සමෘද්ධිය හඳුන්වාදුන් හේතුව 

අපේ රටේ දිළිඳුකම පිටුදැකීමේ ඉතිහාසය ගත්තොත් එදා ජනාධිපති ආර්. ප්‍රේමදාස මැතිතුමා මේ ප්‍රශ්නය තේරුම් අරන් “ජනසවිය” කියලා වැඩසටහනක් ක්‍රියාත්මක කළා.  ඇත්තෙන්ම 1993 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය විපක්ෂයේ ඉන්න කොට, බස්නාහිර මහ ඇමැතිනිය විදියට පත් වෙලා අපි 1994 මහ මැතිවරණයට සූදානම් වන මොහොතේ ජනසවිය වඩාත් ශක්තියක්ව ඉදිරියට ගෙනියන්න පුළුවන් විකල්පයක් පිළිබඳ කතා කළා. මට මතකයි මේ වැඩසටහනට සමෘද්ධි නම තියන්න තිබ්බ රැස්වීම. ඒක තිබුණෙ චන්ද්‍රිකා  මැතිණියගේ රොස්මීඩ් නිවසේ දී. රත්නසිරි වික්‍රමනායක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් විදියට හිටියා. එස් බී දිසානායක මැතිතුමා හිටියා. ඒ සමෘද්ධි වැඩසටහන ජනසවියට එහා ගිය වඩා පුළුල් ජනතාවක් ඉලක්ක කරගත්ත ඒ වගේම ක්ෂුද්‍ර බැංකු හරහා දුප්පත් ජනතාවට ඉතිරි කිරීම් සිදු කිරීමටත් ඒ වගේම ණය ලබාගැනීමටත් ඉඩකඩ ඇති කළා. 

අවුරුදු 25 කට කිට්ටු වෙලත් සමෘද්ධි ව්‍යාපාරයට තාමත් දුප්පත්කම සම්පූර්ණයෙන් නැති කරන්න බැරිවෙලා  

1994 දී අපි ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව පිහිටුවලා මට හොඳට මතකයි පාර්ලිමේන්තුවේ මුලින්ම සම්මත කරපු ඉතා වැදගත් පනතක් තුළින් සමෘද්ධි වැඩසටහන ක්‍රියාත්මක කළා.  නමුත් අවුරුදු 25 කට කිට්ටු වෙලත් සමෘද්ධි ව්‍යාපාරයට තාමත් දුප්පත්කම සම්පූර්ණයෙන් නැති කරන්න බැරිවෙලා තියෙනවා. කාලයක් යද්දි මේක දේශපාලන අතකොලුවක් බවට පත් වුණා. මේ එක දේශපාලන පක්ෂයකට වාසි වෙන විදියට ක්‍රියාත්මක කළා.  ඒකෙන් වුණේ පොදු දිළිඳු ජනතාවට සේවය කරන වැඩසටහනක් වෙනුවට වාසි සැලසෙන දේශපාලන අතකොලුවක් බවට පත්වුණ බව අපි දන්නවා. 

සමෘද්ධි නිලධාරීන් දේශපාලන අතකොළු බවට පත්වෙලා !

සමෘද්ධි ව්‍යාපාරයට සම්බන්ධ වෙච්ච නිලධාරීන්ට දේශපාලන අතකොළු බවට පත්වෙන්න සිද්ධ වුණා.  සමෘද්ධි කාර්යාල දේශපාලන කාර්යාල බවට පත් වුණා. සමෘද්ධි හිමි නොවිය යුතු අයටත් සමෘද්ධි සහනාධාර ලබාදෙන්න පසුගිය කාලයේ හිටපු පාලකයෝ කටයුතු කළා.  මේ තත්ත්වය වෙනස් කරලා සහන හිමිවිය යුතු අයට පමණක් සමෘද්ධි සහනාධාර ලබාදීම ඉදිරියේ දී සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටේ දරිද්‍රතාවය ඉහළ උතුරු නැගෙනහිර පළාත් වගේම වතු අංශයේ කැපී පෙනෙන පැතිරීමක් තිබෙන නිසා ඒ ප්‍රදේශවලට වැඩි අවධානයක් ඉක්මණින් යොමු කළ යුතුයි.   

සමෘද්ධි බැංකුවල වත්කම් මේ වෙන කොට රුපියල් බිලියන 144 කට වඩා තියෙනවා.  ඒ වගේම ආයෝජන රු. බිලියන සීයකට වැඩියි.  නමුත් 2016 වර්ෂයේ දී සමස්ත ලාභය ලබාගෙන තියෙන්නේ රු. මිලියන තිස් තුනක් පමණයි.  ඒ වගේම 2017 වර්ෂයේ දී සමෘද්ධි බැංකුවල රු. බිලියන 3ක ලාභයක් පෙන්නුම් කරනවා.  නමුත් මේ ලාභ ලැබීම් දෙපාර්තමේන්තුවේ පරමාර්ථ අනුව ක්‍රියාත්මක වී ලබාගත් ඒවා ද යන්න කෙනෙක්ට අහන්න පුළුවන්.  මොකද මුදල් වාණිජ බැංකුවල දාලා ඒවායින් ලැබෙන පොළිය ලාභයක් විදියට පෙන්නුවට තේරුමක් නැහැ. 

සමෘද්ධි ව්‍යාපාරයේ අරමුණු ඉෂ්ඨ කරගන්න පුළුවන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ කටයුතුවලට තිබෙන අරමුදල් යෙදුවොත් විතරයි.  ඒ නිසා සමෘද්ධි ව්‍යාපාරයෙන් අපි බලාපොරොත්තු වන සැබෑ අරමුණු මේ වෙන කොට ඉෂ්ඨ වෙනවද කියන එක ප්‍රශ්නයක්.  උතුරු පළාත ගත්තොත් ග්‍රාමීය ණයබර නිසා විශාල සමාජ අසහනයක් ඇතිවෙලා තියෙනවා.  සමෘද්ධි බැංකු ඒ ප්‍රදේශවල සක්‍රිය වුණොත් ඒ ජනතාවගේ විශාලතම ගැටලුව වන ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වල අතකොලු බවට පත් වෙලා සිටින එක්ට විසඳුමක් වෙනවා. විශේෂයෙන් ම නියගය පැවැති පළාත්වල ජනතාව ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වලින් ගත්ත ණය කපා හැරීමට අපි තීරණය කරල තියෙනවා.

දුගී ජනතාව පොළී මුදලාලිලාගේ ග්‍රහණයකට ලක්වෙලා 

ඒ පළාත්වල දුගී ජනතාව පොළී මුදලාලිලාගේ ග්‍රහණයකට ලක්වෙලා තියෙන්නේ සාධාරණ ග්‍රාමීය බැංකු සේවාවන් නැති නිසා. සමෘද්ධි ව්‍යාපාරය පටන් අරන් පළවෙනි වතාවට සමෘද්ධි බැංකු මුදල් පිළිබඳ ස්වාධීන විගණනයක් කළේ පසුගිය අවුරුද්දේ.  ඒ වගේම සමෘද්ධි බැංකු නියාමනය කිරීමේ හෝ අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නැහැ.  ඒක නිසා රජයට ඉදිරියේ දී මූල්‍ය වගවීම විනිවිද භාවයෙන් සිද්ධ කිරීමට සමෘද්ධි බැංකු නියාමනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ඉතාම කාලීනයි කියා මං හිතනවා.  නිලධාරීන් සියලු දෙනාගේ සහයෝගය ඒ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙනවා.    

දුගීබව නැතිකරන මඟ 

ඒ නිසා මං කියන්න කැමතියි අපි සියලු දෙනාම හිතට එකඟව කල්පනා කරලා බලලා දරිද්‍රතාවයේ පතුලේ ජීවත් වන ජනතාවට හිමි විය යුතු මුදල්  දේශපාලන වාසියට යොදා ගන්නැතුව ඒ ලැබිය යුතු තැනැත්තන් වෙත ලබාදීම තුළින් පමණයි සම්පූර්ණයෙන්ම දුප්පත්කම නැති කරන්න පුළුවන් බව.

අද දින මේ සම්මානයට පාත්‍ර වෙන සමෘද්ධි බැංකු නිලධාරීන්ට මාගේ සුභ පැතුම් පිරිනමන්න කැමතියි.  ඔබලා සියලු දෙනා කැපවීමෙන් මේ පවතින තත්ත්වය තවත් වෙනස් කරලා ඊළඟ වසරේ දී සමෘද්ධි බැංකු හරහා ඉතා ප්‍රතිඵලදායක දියුණුවක් අත්කර ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.  අපි සියලු දෙනා තමතමන්ගේ පුද්ගලික මතිමතාන්තර පසෙකට දාලා මේ ජාතික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න කැපවීම වැදගත් බව මම මතක් කරන්න කැමතියි.”

මෙම අවස්ථාවට සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරු ද සහභාගී වූහ.

Info Sri Lanka TV

Powered by Blogger.