ගෝඨාගේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවෝ 4ක් ඉවත් වෙති.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 2015 වසරේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හතරදෙනකු ඉවත් වී තිබේ.

ඒ අනුව ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නොමැති විනිසුරු මඬුල්ලක් ඉදිරියෙහි නොවැම්බර් මස 27 දින එම පෙත්සම කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයාට නියම කෙරිණි.

ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මුර්දු ප්‍රනාන්දු මහත්මිය පෙත්සම විභාග කිරීමට අකමැති බව ප්‍රකාශ කළාය.

ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ මෙම පෙත්සම මුලින්ම කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ඊවා වනසුන්දර සහ සරත් ආබෲ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසිනි. පසුව ඔක්තෝබර් මස 24 දින පෙත්සම කැඳවූ අවස්ථාවේදී විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය පෙත්සම් විභාගයෙන් ඉවත් වූවාය. පසුව ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අලුවිහ‍ාරේ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ද පෙත්සම් විභාගයෙන් ඉවත් විය.

අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මූල්‍ය අපරාධ කොට්ඨාසය, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් පෙත්සමෙහි වගඋත්තරකරුවෝ ‍වූහ.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Latest Video

Powered by Blogger.