ගෝඨා අධිකරණයේ දන ගසයි : FCID එන්න එකඟයි.



වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ ජුනි මස 25 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙහි පෙනී සිටීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවෙහි ඊයේ (14) එකඟ විය.

එසේම මෙම සිද්ධිය සම්බන්ධ නඩු විභාගයේදී අධිකරණයෙහි පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි මත කැඳවන ඕනෑම අවස්ථාවක අධිකරණයෙහි පෙනී සිටීමටද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥවරු එකඟතාවය පළ කළහ.

එම එකඟතාවයන් සලකා බැලූ අභියාචනාධිකරණය වීරකැටිය, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සහ ස්මාරකය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩකිරීමේ සහ  සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුදල් යොදවා ගැනීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් බලාත්මක වන බව ඊයේ (14) සඳහන් කළේය.

අදාළ සිද්ධියට අදාළව සිදුකරන ඉදිරි විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අතර ඇති වූ එකඟතාවයන් සලකා බැලූ අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.

පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා ගොනුකළ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් සහ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අතර මෙම එකඟතාවයන් ඇති විය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරු ඉදිරියෙහි මෙම පෙත්සම ඊයේ (14) කැඳවන ලදී.

එහිදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ගැනීමට නියමිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධ නීතිපතිවරයාගේ යෝජනා ඇතුළත් ලේඛනයක් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාට අවශ්‍ය සංශෝධන ඊට එක් කළ හැකි බව ප්‍රකාශ කරමිනි.

අනතුරුව දෙපාර්ශ්වයේ එකඟතාවය මත ඉහත කරුණු ප්‍රකාශ කරන ලදි.

මෙම පෙත්සම ජූලි 25 වැනිදා නැවත කැඳවීමට නියම කෙරිණි.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

Info Sri Lanka TV

Powered by Blogger.