"කාන්තාරකරණය වැලැක්වීමට වන විනාශයද නතර කළ යුතුයි" : ජීවයේ අයිතිය




අදට (17) යෙදී ඇති කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනය නිමිතිකරගෙන පැල සිටුවීම හොඳ කටයුත්තක් වුවද දින 365කින් දින 04ක් 05ක් පැළ සිටුවා අනෙක් දින තුන්සිය ගණනම පරිසර හානියට අදාළ ප‍්‍රතිපත්ති හා සැලසුම්, ක‍්‍රියාමාර්ග අනුගමණය කරමින් දායක වීම හාස්‍යයට මෙන්ම කණගාටුවට කරුණක් බවද සඳහන් කරමින් ජීවියේ අයිතිය සංවිදානය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ඌව පලාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පළ වේ…

කාන්තාරකරණයට එරහිව පෙළගැසෙමු!

සෑම වසරකම ජූනි 05වන දින ජාත්‍යන්තර පරිසර දිනය ලෙස නම් කොට ලෝක ප‍්‍රජාවම එදිනට පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙනුත් දූෂණය වැලැක්වීම වෙනුවෙනුත් පැළ සිටුවීමේ සිට විවිධ ව්‍යාපෘති සිදු කරනු ලබයි. මාර්තු 22 ලෝක ජල දිනයයි. අද (17) දිනට යෙදෙනුයේ කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනයයි. අප රටද ඒ වෙනුවෙන් රුක්රෝපණ වැඩසටහනක් සූදානම් කොට ඇති බව තොරතුරු සැල වේ.

වසරේ දින 365න් දින 04ක් 05ක් පරිසරය සුරක්ෂිත කිරීම උදෙසා නම් කොට විශාල ලෙස මුදල් වැය කොට සැමරුම් සිදුකරන අප රට ඇතුළු ලෝකයේ බොහෝ රටවල් ඉතිරි දින තුන්සිය ගණනම පරිසර හානියට අදාළ ප‍්‍රතිපත්ති හා සැලසුම්, ක‍්‍රියාමාර්ග අනුගමණය කරමින් දායක වීම හාස්‍යයට මෙන්ම කණගාටුවට කරුණක් බව කිවයුතුය. සැබෑ ප‍්‍රාග්ධනය වූ සොභාදහම මූල්‍ය ප‍්‍රාග්ධනයට යටකොට මූල්‍යම ලාභය සෙවීම උදෙසාත් දේපළ වස්තුව රැස්කරගැනීම උදෙසාත් හඹායන මේ ධනේෂ්වර සමාජ ක‍්‍රමය විසින් සැබෑ ප‍්‍රාග්ධනය වූ ස්වභාදහම වනසා දමන බව බුද්ධිමත් ජනතාව තේරුම් ගතයුතුව ඇත. පරිසරයට කරන මේ අතවර හා විනාශයන් හේතුවෙන් ලෝකයේම ජනතාව බරපතළ වන්දිගෙවීමකට සහ අර්බුදවලට මුහුණදී සිටියි.

පාරිසරික විනාශයන් හේතුවෙන් ආර්ථික හා සාමාජීය අර්බුද උපද්දවන අතර ඒවා දේශපාලන අර්බුද දක්වාද වර්ධනය වෙමින් තිබේ. ඒ හේතුවෙන්ම අද ලෝකයම බරපතල දේශගුණික විපර්යාසයන්වලට ලක්ව ඇති අතර මෙම ධනේෂ්වර ක‍්‍රමය හේතුවෙන් අතවරයට හා විනාශයට ලක්වූ පරිසරය සමස්ත ජීවීන්ටම අනිටු ප‍්‍රතිවිපාක ගෙනදෙමින් තිබේ. සංවර්ධනය යැයි කියනු ලබන ලේබලය ඔස්සේ කළ ව්‍යාපෘති හේතුවෙන් සංවර්ධනයේ අනාථයන් බිහිකොට ඇති අතර පාරිසරික ව්‍යසනයන්ගෙන් ආපදාවට ලක්වූ ජනතාව බිලියන ගණනකි.

විටක නියඟයත්, තවත් විටෙක ගංවතුරත්, තවත් විටෙක නායයාමත් රටවල් මුහුද තුළ ගිල්වා දැමීමත් කාන්තාරීකරණයත් ප‍්‍රබල උපද්‍රව අතර වෙයි. මේ සියල්ල ස්වාභාවික විපත් අභිබවා පවති ක‍්‍රමය විසින් දායාද කළ විපත් බව අපගේ පිළිගැනීමයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසරය හා සංවර්ධන කොමිසමට අනුව ලෝකයේ වසරකට හෙක්ටයාර් මිලියන 06ක් කාන්තාරීකරණය වේ. ඔවුන් පවසන පරිදි මෙයට බලපාන ප‍්‍රධානම හේතුව මානව ක‍්‍රියාකාරකම් වේ. කාන්තාරකරණයට බලපාන ප‍්‍රධානම සාධක වන්නේ වන විනාශය, දරිද්‍රතාවය, අධික ජනගහන වර්ධනය, වැරදි සංවර්ධන ව්‍යාපෘති හා විවිධ සමාජ ආර්ථික හේතූන්ය. මේවා පවතින සමාජ ආර්ථික ක‍්‍රමයේ දායාදයන් මිස අන් යමක් නොවන බව ජනතාව වටහා ගත යුතුය.

මෙතෙක් අප රටට කාන්තාර උරුම නොවුනත් දිනෙන් දින සිදුකරන කාන්තාර එළිකිරීම් නැවැත්විය නොහැකි වුවහොත් අප රට තුළද කාන්තාර බිහිවීම වැළැක්විය නොහැකිවනු ඇත. වානාන්තර ඉවත් කිරීමත් ගොවිතැන් කටයුතු සඳහා භාවිතා කළ ඉඩම් විවිධ හේතූන් මත අත්හැරදැමීමත් කාන්තාරීකරණයේ මූලික ලක්ෂණ බව හඳුනාගෙන තිබේ. අප රටේ වර්ග කිලෝමීටර් 610ක් වන සමස්ත භූමියෙන් මේ වනවිට ඉතිරිව ඇත්තේ 16%ක් වන වනවැස්මක් පමණි.

කෙසේ වෙතත් අධික වියදමක් දරා උත්සවාකාරයෙන් සිටුවන පැළ අතරින් බොහෝමයක් නඩත්තුව අතහැර දැමීම සහ අනාරක්ෂාව හේතුවෙන් සතියකින් දෙකකින් මියයෑම කණගාටුවට කරුණකි. මේ ආකාරයෙන් පසුගිය වසර ගණනාවක් පුරා විවිධ උත්සව පවත්වමින් කෝටි ගණනින් ජනතා මුදල් වැය කොට රෝපණය කරන ලද පැළ වර්ධනය වූයේ නම් ලාංකේය භූමිය තුළ වන වැස්මෙන් 16%ක් පමණක් ඉතිරි වන්නේ කෙසේද?

අධිරාජ්‍යවාදීන් විසින් මධ්‍යම කඳුකරයේ ඇති කළ ආර්ථික වැවිලි භෝග අද වනවිට මරණාසන්න බවට පත්ව තිබේ. රක්ෂිත වනාන්තර වේගයෙන් ක්ෂයවෙමින් තිබෙන අතර වනජීවීන් ගම් නගර ආක‍්‍රමණය කරමින් තිබේ. වනසතුන් සහ මිනිසුන් අතර ගැටුම් නිර්මාණයවී තිබේ. වටිනාම පාරිසරික වස්තුවක් වන මධ්‍යම කඳුකර භූමියේ සාරවත් පස ගංගාවන්හි පතුල් පුරවමින්, වැව් ගොඩකරමින්, ගංවතුරින් මිනිස් ජීවිත සහ දේපළ විනාශ කරමින් මුහුදට ගලාගෙන යමින් තිබේ.

හායනයට ලක්වෙමින් තිබෙන මෙවන් බිමක් කාන්තාරකරණයේ මූලික ලක්ෂණ පෙන්වයි. අප රටද විටක දැඩි නියඟයටත්, ගංවතුර ගැලීම්වලටත්, නායයෑම්වලටත් ගොදුරුවන අතර තවත් විටෙක දැඩි උෂ්ණත්වයකටද මුහුණ දෙමින් සිටියි. එමෙන්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කෘෂිකාර්මික මෙන්ම සෞඛ්‍යමය ගැටළුවලට ගොදුරුවන බවද සියලු දෙනා දන්නා කරුණකි.

1998 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර කොමිසමේ අත්සන් කරණු ලැබූ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතියටද ශ‍්‍රී ලංකාව අත්සන් කොට තිබේ. ජාත්‍යන්තර පාරිසරික සම්මුතීන් අනුවත් සාමාන්‍ය ජනතාව දෛනිකව මුහුණ දෙන ව්‍යසනයන් හමුවේත් අපේ රට කාන්තාරයක් වීමේ අනතුරකට ගොදුරුවී ඇති බව තේරුම් ගැනීමට බහුශ‍්‍රැත දැනුමක් අවශ්‍ය නොවන බව අපගේ හැඟීමයි. එවැනි ව්‍යසනයකින් රට ගලවාගැනීමට නම් රටේ ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය වෙනස්කම් සිදුවිය යුතුය. ඒ සඳහා ප‍්‍රතිපත්ති සැලසුම් සකස්විය යුතුය. ලාබය මත පමණක් රදාපවතිමින් ක‍්‍රියත්මක වන ධනවාදී පාලන ක‍්‍රමයෙන් පරිසරයත් මානව ප‍්‍රජාවත් නිදහස්කර ගැනීමෙන් තොරව මේ ගැටලුවලට විසඳුමක් නැති බව අපගේ විෂ්වාසයයි. ජුනි 17 දිනට යෙදෙන කාන්තාරකරණය වැළැක්වීම උදෙසා ජාත්‍යන්තර දිනය සැබෑ අර්ථයෙන් සැමරිය යුතු බව පාලකයින්ට අවධාරණය කරන අප, පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙන ලෙසත් පරිසරය සුරකීම වෙනුවෙන් පෙරට එන ලෙසත් සමස්ත ශ‍්‍රී ලංකේය ජනතාවගෙන් ජීවයේ අයිතිය සංවිධානය ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටියි.

සමන්ත විද්‍යාරත්න,
කැඳවුම්කරු (ජීවයේ අයිතිය)
ඌව පළාත් සභා මන්ත‍්‍රී”

Info Sri Lanka TV

Powered by Blogger.