නාගරික සංවර්ධන අධිකාරියේ මහජන ජංගම සේවය අද.



නාගරික සංවර්ධන අධිකාරියේ 40 වන සංවත්සරයට  සමගාමීව සංවිධානය කරනු ලබන මහජන ජංගම සේවාව අද(18) දින උදේ 10.00 ට කොළඹ 07, නිදහස් ආකේඩ් පරිශ‍්‍රයේදී  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

මෙම ජංගම සේවය අද දින සවස 6.00 දක්වා පැවැත්වීමට සංවිධානය කර ඇති අතර ගොඩනැගිලි ඉදිකිරීම්, ඉඩම් අනු කොටස්වලට බෙදීම් හා සම්බන්ධ අනුමැතිය ලබාදීම, මුලික සැලසුම් නිරාකරණ සහතික සහ අනුකූලතා සහතික නිකුත් කිරීම, ඉඩම් සංවර්ධනය ඇතුළු සංවර්ධන බලපත‍්‍රවලට අදාල ගැටළු රැසකට සාකච්ඡා කොට විසදුම් ලබාදීම ප‍්‍රධාන අරමුණයි.

ඉහත කී සංවර්ධන කටයුතු පෙරසැරිකර බලපත‍්‍ර ලබාදීමේ කි‍්‍රයාවලිය නව ලොවට ගැලපෙන අයුරින් ඉලෙක්ට්‍රෝනික ක‍්‍රමයට, අන්තර්ජාලය හරහා ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විටත් පියවර ගෙන ඇත. මෙම අන්තර්ජාල ක‍්‍රමය තුළින් ලෝකයේ  ඕනෑම ස්ථානයක සිට සංවර්ධන අයදුම්පත් ඉදිරිපත් කර බලපත‍්‍රයක් ලබාගැනීමේ හැකියාව මහජනයාට ලබාදී ඇති අතර  එමගින් ඉතා කඩිනම් හා පුළුල් සේවාවාක් ලබාදීම අධිකාරියේ අරමුණ වී ඇත.

නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශයට පත්කරනු ලබන ප‍්‍රදේශයන්හි ආර්ථික, සමාජ හා භෞතික සංවර්ධනය ඒකාබද්ධව සැළසුම් කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව 1978 අංක 41 දරණ පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරනු ලබන නාගරික සංවර්ධන අධිකාරිය මෙරට නාගරික සංවර්ධනයේ සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකරමින් සිටී. නාගරික සංවර්ධන ක‍්‍රියාවලියේදී විධිමත් සංවර්ධන සැළසුම් සකස් කොට ප‍්‍රාග්ධන ආයෝජන සැළසුම් කිරීම, රජය විධිමත් අනුමත විසල් සංවර්ධන ව්‍යාපෘති, නාගරික ඉඩම් පරිහරණ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් ගෙන යන දැවන්ත ක‍්‍රියාවලිය තුළ නාගරික ප‍්‍රජාවගේ ඉදිකිරීම්, ඉඩම් සංර්ධනය කිරීම් ආදී නාගරික සංවර්ධන අධිකාරිය හා අනෙකුත් ආයතන හා සබැඳි ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබාදීම අත්‍යාවශ්‍ය කරුණකි. එය ජනතාවගේ ජීවිතයට මෙන්ම ඔවුන් මතු පරපුරට කරන්නාවූ තිරසර මෙහෙයකි.

දිනෙන් දින නාගරික පරිසරයක් තුළ උද්ගත වන ගැටළු සඳහා විසඳුම් ලබාදීම නීතිරීති අණපනත් හා බැඳුනු සංවර්ධන ක‍්‍රියාවලියකි. යම් අවස්ථාවක නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඍජුව ක‍්‍රියාත්මක නාගරික ප‍්‍රජාව වෙත විසඳුම් ලබාදීමට හැකිවුවද, තවත් අවස්ථාවක අධිකාරිය පමණක් නොව අනෙකුත් රාජ්‍ය ආයතනයන්ගේද නීතිරීති වලට අනුකූලව ක‍්‍රියාත්මක විය යුතුය. මෙවැනි ගැටළු අවම කිරීම සඳහා ජනතාව අධිකාරිය වෙත පැමිණීම වෙනුවට අධිකාරිය ජනතාව වෙත ගොස් ගැටළු විසඳීමේ ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදෙන ලදී.

මේ අනුව, කොළඹ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන 13 නියෝජනය කරමින් වගකිව යුතු නිලධාරීන් මෙන්ම අනෙකුත් ප‍්‍රධාන රාජ්‍ය ආයතන වන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, වෙරළ සංරක්‍ෂණ අධිකාරිය, වාර්මාරිග දෙපාර්තමේන්තුව හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරන නිලධාරීන් ඇතුලූ නිලධාරීන් මෙම අවස්ථාවට එක්වනු ඇත. මේ අනුව වසර ගණනක් පුරා ඉහත ආයතනයන්හි සහතිකයන්, අනුමැතියන් ලබා ගත නොහැකිව සිටින කොළඹ දිස්ත‍්‍රික් ජනතාවට එකම වහලක් යටදී ඉහත ආයතනයන් සමග සම්බන්ධ වෙමින් තම ගැටළු සාකච්ඡා කොට විසඳුම් ලබා ගැනීමට හැකිවනු ඇත.

නාගරික සංවර්ධනය හා රටක සංවර්ධනය එකිනෙක බැඳී පවතින්නකි. එම ආයෝජනය ජය ගැනීමට නම් පුරවැසියාගේ අභිවෘද්ධිය අත්‍යාවශ්‍ය සාධකයකි. ඔවුන්ගේ ජීවිතයන්හි ඉලක්කයන් කරා යාමට අවැසි ශක්තිය දුන් කල්හි නවීකරණ ප‍්‍රයත්නයන් තුළ වේගයෙන් නව ප‍්‍රවේශයක් යටතේ සංවර්ධනය වන මෙරට නාගරික පද්ධතියට  තවදුරටත් ශක්තියක් එක්වනු නොඅනුමානය.

Info Sri Lanka TV

Powered by Blogger.