පාඩු ලබන එයාර් ඉන්දියා මිලදී ගන්න කෙනෙක් නෑ?



එයාර් ඉන්දියා ගුවන් සේවය මිලදී ගැනීම සඳහා තවදුරටත් සුදුසු ගැනුම්කරුවෙකු සොයාගත නොහැකි වුවහොත්, එහි මූලෝපාය සම්බන්ධයෙන් අලුතින් සිතීමට සිදුවනු ඇතැයි ඉන්දියාව පවසයි.

"වඩාත් හොඳ ගනුදෙනුවකින් යහපත් සහයෝගීත්වයක් සඳහා අප බලාපොරොත්තුවෙන් පසුවූවා" යැයි එරට සිවිල් ගුවන් සේවා ලේකම් ආර්.එන්. චෞබී පවසා සිටියි.

ඔවුන් බලාපොරොත්තුව සිටින්නේ ගුවන් සේවයේ කොටස්වලින් 76%ක් සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීමටය.

නමුත්, රජය විසින් ඉදිරිපත් කර ඇති දැඩි කොන්දේසි හමුවේ ඉක්මනින් ආයෝජකයෙකු සොයාගැනීම පහසු නොවනු ඇති බව වෙළෙඳ පොළ විශේෂඥ මතය වී තිබේ.

එහිදී, රජය විසින් ඉදිරිපත් කර ඇති, ආයෝජකයෙකු කිසිසේත්ම අකැමැති කොන්දේසිය වී ඇත්තේ ගුවන් සේවය මිලදී ගැනීමේදී එහි සේවය කරන 27,000ක සේවක මණ්ඩලයද ඉවත් නොකර තබාගත යුතුය යන කොන්දේසියයි.

එමෙන්ම, රජය විසින් 24%ක කොටස් අයිතියක් තබා ගනිමින් සේවකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයේ අතපෙවීම් සිදුකරනු ඇතැයි යන විශ්වාසයද මෙම ගනුදෙනුව පමා කිරීමට හේතු වී ඇති බව කියැවෙයි.

2007 වසරේ සිටම එයාර් ඉන්දියා ගුවන් සේවය පාඩු ලබන ගුවන් සේවයක් බවට පත්ව ඇති අතර, එය මිලදී ගන්නා ආයෝජකයාට දැනටමත් ගුවන් සේවය දරා ඇති ඇ.ඩො.බිලියන 5ක පාඩුවද විඳ ගැනීමට සිදුවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Info Sri Lanka TV

Powered by Blogger.