ශ්‍රීලනිපයෙන් 16 කණ්ඩායමට විරෝධයක් : පොහොට්ටුවේ ගෝඨා කපාගෙන බැසිල් පෙරට.



පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු වලදී මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු වලට ශ්‍රීලනිප 16 කණ්ඩායම යොදා නොගන්නා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මැති ඇමති තනතුරු නොදරන  ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් තම ප්‍රශ්න සහ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා මුණගැසුණු විශේෂ හමුවකදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

මෙම හමුව සඳහා ආසන සංවිධායකවරුන් 100 ක් පමණ සහභාගී වූ බවද වාර්තා වන අතර මේ වන විටත් ශ්‍රීලනිප 16 කණ්ඩායමේ ඇතැමුන් තම ආසන තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද ඔවුන් එහිදී දැනුම්දී ඇති බවද වාර්තා වෙයි.

එසේම 16 කණ්ඩායමේ සූදානම පක්ෂය හෝ සාමාජිකත්වය ගැන නොසිතා රාජාක්ෂවරුන් සමඟව තම පෞද්ගලික දේශපාලන අරමුණ ඉටුකර ගැනීම බවත් ඒ හේතුවෙන් පක්ෂය මේ වන විට සමාජය හමුවේ හෑල්ලුවට ලක්කරන කටයුතු බොහොමයක් 16 කණ්ඩායමේ පිරිස් සිදුකරන බවද එහිදී ඔවුන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත.

එසේම පක්ෂය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් තමන්ට ආසන වල සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් කරන්නට මැදිහත් වන ලෙසත් රැකියා ලබාදීමේදී එයින් කෝටාවක් තමන්ටද වෙන් කරන ලෙසද මේ හමුවේදී ආසන සංවිධායකවරුන් ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

මෙම අවස්ථාවට ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියසේන ද සහභාගීවූ බව වාර්තා වෙයි.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වයට බැසිල් එයි?

මේ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමලවීර දිසානායක  පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අම්පාරේදී පැවති එම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිත හමුවක් අමතමිනි. 

එහෙත් මහින්ද  රාජපක්‍ෂ  විසින් නම් කරන පුද්ගලයෙකුට තම සහයෝගය ලබා දීමට සූදානම් බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

අනතුරුව සභාව ඇමතූ  බැසිල් රාජපක්‍ෂ මහතා කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සුදුසුම පුද්ගලයා මහින්ද රාජපක්‍ෂ මහතා බවයි.

එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කම් කරන ඕනෑම පුද්ගලයෙකුගේ ජයග‍්‍රහණය සහතික බවත් අවශ්‍ය නම් විමලවීර දිසානායක වුවද ඒ සඳහා ගැළපෙන බවද ඔහු පැවසීය.

තම අම්මාගේ වාසගම ද දිසානායක බැවින් විමලවීර දිසානායක රාජපක්ෂලාගේ ඥාතියකු බව පැවසුවද ගැටළුවක් නැති බවද ඔහු පවසා ඇත.

Info Sri Lanka TV

Powered by Blogger.