තැපැල් වර්ජනය අවසන්.



දින කිහිපයක සිට තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිව නවතා දැමීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළකරයි.තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා සහ වැටුප් කොමිසම සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් වැඩ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙන නමුත් වැටුප් කොමිසම සමඟ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ප්‍රකාශ කරයි.

තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ (26) දිනයේ වැටුප් හා සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා සහ තැපැල් ඇමැතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එළඹෙන ජූලි මස 7 දා වැටුප් කොමිසම සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද ඒ වනවිට පවතින ගැටලු සියල්ල සඳහා විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා සමඟ එම අමාත්‍යාංශයේ දී ඊයේ (26) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. පසුගිය 11 දා සිට ඊයේ දිනය දක්වා තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කළ බවත් තවදුරටත් පවතින ගැටලු සඳහා ඉදිරියේ දී විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

තැපැල් සේවකයන් සඳහා පවතින තෙවැනි ශ්‍රේණිය ඉවත් කිරීම සඳහා ඇමැතිවරයා එකඟතාව පළකර තිබෙන අතර වැටුප් සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ ඉදිරියේ දී සාකච්ඡා කිරීමට සූදානම් බවද හෙතෙම පැවැසීය.

මේ අතර මාධ්‍ය හමුවට සහභාගි වෙමින් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා පෙන්වා දුන්නේ දින කිහිපයක සිට ආරම්භ කර තිබෙන තැපැල් වැඩ වර්ජනය අවසන් කොට යළි සේවයට වාර්තා කිරීම සඳහා වෘත්තීය සමිති කිහිපයක් කැමැත්ත පළකර තිබෙන බවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති කිහිපයක් දින 15කට වැඩි කාලයක සිට වැඩ වර්ජනයක් කළද ඔවුන් සමඟ අවස්ථා කිහිපයක දී සාකච්ඡා කළ බවත්ය. එම වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම් දෙකට රජය විසින් එකඟතාව පළකර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

තැපැල් සේවකයන්ගේ වර්ජන කාලය තුළ රජයට විශාල පාඩුවක් සිදුව තිබෙන බවත් එම වර්ජකයන්ගේ ඉල්ලීම් සඳහා රජය විසින් හොඳ ප්‍රතිචාර දක්වා තිබෙන බවත් සඳහන් කළ ඇමැතිවරයා මෑතක් වනතෙක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන් සඳහා ශ්‍රේණි දෙකක් පැවැති නමුත් මෑක දී තවත් ශ්‍රේණියක් එක්කිරීම මේ ගැටලුවට මුල්වී තිබෙන බවද එම නව ශ්‍රේණිය ඉවත් කරන ලෙස ප්‍රධාන වශයෙන් සේවකයන් ඉල්ලා තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට සිදුව තිබෙන අතර වැටුප් කොමිසම මේ සම්බන්ධයෙන් දිගින් දිගටම විරෝධතාව පළකළ නමුත් අගමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රථිඵලයක් වශයෙන් අදාළ තෙවැනි ශ්‍රේණිය ඉවත් කිරීමට එකඟතාව පළකර තිබෙන බව ද සඳහන් කළ ඇමැතිවරයා 6/2006 වසරේ ආරම්භ කළ චක්‍රලේඛයේ පැවැති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මේ වර්ජනය ආරම්භ කළ නමුත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසීය.

තැපෑල සංවෘත්ත දෙපාර්තමේන්තුවක් වශයෙන් පත්කරන ලෙස ඉල්ලීම් කරන අතර එලෙස කළයුතු බවට තමා අදහස් කරන බවද එම ඉල්ලීම් සාධාරණ බවද කී අබ්දුල් හලීම් මහතා තැපැල් සේවකයන් සමඟ සාකච්ඡා කොට සේවා ව්‍යවස්ථාවක් ඇති කරගෙන තිබෙන බවද කීවේය. එය වැටුප් කොමිසට බාරදී තිබෙන බවද වර්ජනය පැවැති කාලයේ දී තැපෑල විශාල වශයෙන් කඩාවැටීමකට ලක්ව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

Info Sri Lanka TV

Powered by Blogger.