මාතර යාචක අප්පුහාමිගේ, රෝස් පාන් දන්සල......



මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන කොට සමාජයේ පහලම ස්ථරයේ සිට ඉහලම තැන දක්වා ආශ්‍රය කරන්න වෙනවා. ඒ අනුව තමයි මාතර නගරයේ යාචකයෙකු මා දැන හදුනා ගත්තේ. ඔහුගේ මුලු ජීවිත කතාවම මම දන්නවා.

මාතර මහ නගර සභාව ඉදිරිපිට යාචකයෙකු වු අප්පුහාමී (74) මාමා මට පොසොන් පොහොයට පෙර කෝල් එකක් දුන්නා.ඒ මගේ මිතුරකු වු දර්ශන මල්ලිගේ ෆෝන් එකෙන්.

"මහත්තයෝ මම මාතර නගරසභාව ලග හිගා කන අප්පුහාමි.මතකද මහත්තයා එක පාරක් මම ගැන ලිපියක් පල කලා අර මම ඔට්ටුවකින් දිනලා කියලා.මහත්තයෝ මම මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් දන්සලක් දෙනවා.නගරසභාව ඉදිරිපිට.ඔන්න එන්න ඕන."

ඒ අනුව මම ඊයේ(28) යාචක අප්පුහාමී මාමාගේ ආරාධනයෙන් ඔහුගේ දන්සලට ගියා.ඔහුට උදවු කරන්න ඒ අවට අයත් ඇවිත් හිටියා.රෝස් පාන්,වඩේ,කෙසෙල් ගෙඩි දෙදාහ බැගින් රැගෙනවිත් ජනතාවට බෙදා දුන්නා.

මතුගම පදිංචිකරුවකු වු ඔහු තම දේපල සියල්ල නැති වී පාරට වැටුණු පසු යාචකයෙකු ලෙස සිගමනේ ඇවිද්දේය.ඔහු මීට වසර 12 කට පෙර මාතරට පැමිණ තිබෙන අතර ඔහුගේ රාත්‍රි නවාතැන වූයේ මාතර දොඩම් පොලයි.

දිනපතා සිගමනෙන් ලැබෙන මුදල් ඔහු ඒ අසල සිල්ලර වෙලද සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරික ඩී.පී.රණතුංග මහතාට පරිස්සම් කිරීම සදහා භාර දෙයි.ඒ ආකාරයට ලබා දුන් රුපියල් එක්ලක්ෂ හැටදහසක මුදලක් තමා ලග තිබෙන බව ඩී.පී.රණතුංග මහතා පැවසීය.

රෝස් පාන්,වඩේ හා කෙසෙල් ගෙඩි 2000 බැගින් ඔහු ඊයේ එම දන්සලේදී ජනතාවට බෙදා දුන් අතර ඒ සදහා රුපියල් තිස් දහසක මුදලක් වැය කර තිබුණි.

ඒ පිලිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු යාචක අප්පුහාමී මහතා මෙසේද කීය.

“දිනපතා සිගමන් යෙදීමෙන් ලැබෙන මුදල් පරිස්සම් කර ගැනීම සදහා මම අපේ රණතුංග මුදලාලිට භාර දෙනවා.ඉන් කොටසක් මම වියදමට ගෙන තවත් කොටසක් සූදු ගහන්නත් යොදවනවා.ඔට්ටු වලින් දින්නම ලැබෙන මුදලුත් මුදලාලිට ගෙනත් දෙනවා.දැනට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඔහු ලග තිබෙනවා.හැමදාම මිනිස්සු මට සල්ලි දෙන නිසා මම හිතුවා මේ පෝයට මිනිස්සුන්ට මගෙන් කෑම වේලක් දෙන්න ඕන කියලා.බත් වේලක් දෙන්න පහසුකම් නැහැ.ඒ නිසා රෝස් පාන්,වඩේ,හා කෙසෙල් ගෙඩි දෙන්න තීරණය කලා.මේ අවට කඩවල අය තමයි මට මේ සදහා උදවු කලේ.සම්පූර්ණ වියදම මම විසින් සිදු කලා.දන්සලට කාගෙන්වත් එකතු කලේ නැහැ.මම සිගමනේ යෙදී ලැබුණු මුදල් ඔට්ටු අල්ලා දිනා ගත් මුදල් ඒ සදහා වැය කලා.”

මෙම දන්සල වැද පුදා ගැනීම සදහා විශාල සෙනගක් පැමිණ සිටි අයුරු දැක ගත හැකි වුණා.

[සටහන සහ සේයාරූ : ක්‍රිෂාන් ජීවක ජයරුක්]





Latest Video

Powered by Blogger.