'රට දියුණු කරන්න නම් සාපේක්ෂ වාසිය හඳුනාගන්න' - පාඨලී



රට ආර්ථික වශයෙන් නැංවීමට නම් මෙහි ඇති සාපේක්ෂ වාසිය කුමක්ද යන්න තේරුම් ගතයුතු බවත් හතරවන කාර්මීකරණය සමග නවෝත්පාදන තරඟ පිටිය ජයගන්න නම්  පැරණි චින්තනයෙන් තොර කුසලතා පූර්ණ නව පරපුරක් අනිවාර්යයෙන්ම බිහි කළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කරයි.

මහනුවර නගරයේ සංවර්ධන සැලැස්ම මූලික කර ගත් සමස්ථ ශ‍්‍රී ලංකාවේ ස්ථාවර සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධයෙන් වන විද්වත් කතිකාව ‘මෙගා මයින්ඩ්’ පසුගිය දා මහනුවර ග‍්‍රෑන්ඞ් කැන්ඩියන් හෝටලයේ අතර මේ සඳහා මහනුවර දිස්ත‍්‍රික්කය ආවරණය කර ගනිමින් විද්වතුන් 1,100 ක් සහභාගී විය.

එම අවස්ථාව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූ අතර මෙරට  1998 වසරේ සිට ශ‍්‍රී ලංකාව මධ්‍ය ආදායම් කලාපයේ රටක් බවත් අප අවට බොහෝ රටවල් ආර්ථික අතින් සමෘද්ධිමත් වන විට අප තවම දුප්පත් තත්වයේ පසුවීමත්, අපට වඩා පසුපසින් සිටින ඇතැම් රටවල් අප පසුකරගෙන ගොස් ඇති ආකාරය නිරීක්‍ෂණය කිරීමේදීත්, අපට දිස්වන්නේ යම් වැරදීමක් රටට සිදුවී ඇති බවක් යනුවෙන්ද පැවසීය.

විධිමත් භෞතික සැලසුමක් අත්‍යාවශ්‍යයි !

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,  77 න් පසු රටේ බිහි වූ ආර්ථික මාදිලිය අපනයන අභිමුඛ ආර්ථික මාදිලියක් බවට පරිවර්ථනය උනා. ආර්ථිකය විවෘත වුනා. එම ලිබරල් ආර්ථික මාදිලිය අඩු වැඩි වශයෙන් නොයෙක් වෙනස් වීම්වලට ලක්වෙමින් අද දක්වා ගමන් කර තිබෙනවා. කෙසේ වුවත් සෞඛ්‍ය සහ අධ්‍යාපන යන ක්‍ෂෙත‍්‍ර වලින් පළමු පන්තියේ රටක් බවට පසුගිය දශක 4ක 5 ක කාලය තුළ අපි පරිවර්තනය වී ඇති බව මතක තබා ගත යුතුයි. එහිදී රට මුහුණ දී සිටින මධ්‍යම ආදායම් උගුල පියමනින්නේ කොහොමද යන ප‍්‍රශ්නයට දිය හැකි සාධාරණ උත්තරයක් වන්නේ විධිමත් නාගරික සැලැස්මකට අනුව රට සකස් කර ගැනීමයි.  ලංකාවේ නාගරික ජනගහන 18% ක් බව කීවත් අද එය ආසන්න වශයෙන් 50% යි. ඒ අනුව රටේ අති බහුතරයක් සීග‍්‍රයෙන් නාගරික පහසුකම් බුක්ති විඳින තත්වයට පත් වෙමින් සිටී. විධිමත් නාගරික සැලසුමක්, විධිමත් භෞතික සැලසුමක් අපට අත්‍යාවශ්‍යයෙන් පැවතිය යුතුයි.


ඬේවිඞ් රිකාඩෝ කියපු : සාපේක්ෂ වාසිය 

19 වන සියවසේ මුල් භාගයේ ජීවත් වූ බි‍්‍රතාන්‍ය ජාතික ආර්ථික විද්‍යඥයෙක් වූ ඬේවිඞ් රිකාඩෝ රාජ්‍යයක් ආර්ථික වශයෙන් දියුණුව කරා යෑමට නම් පළමුව හඳුනා ගත යුත්තේ තමන්ගේ රටේ සාපේක්‍ෂ වාසිය කුමක්ද? කොතැනද යන වගයි. ප‍්‍රංශයේ සාපේක්‍ෂ වාසිය වයින් නිෂ්පාදනයයි. වරෙක ඔහු විසින් බි‍්‍රතාන්‍යයට පවසා සිටියේ, ප‍්‍රංශය සමග තරග  කරන්නට නම් වයින් නොව ඇඟලූම් කර්මාන්තය දියුණු කළ යුතු බවයි. එසේ නම් අප වර්තමානයේදීවත් රටේ සාපේක්‍ෂ වාසිය කොතනද යන්න පිළිබඳව හඳුනාගත යුතුමයි. ඇමරිකානු රජයට උපදේශකත්වය ලබාදුන් රොබඩ් ඩි කප්ලාන් විසින් රචිත මොන්සූන් නැමැති ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත්තේ 21 වන ශතවර්ෂයේ වැදගත්ම සාගර කලාපය ඉන්දියානු සාගරය බවයි.  ශ‍්‍රී ලංකාව ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇත. මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ප‍්‍රතිපත්ති වෙනස් කරන අදහසක් බවට පත් විය. ඒ අනුව පියොටින් ඒෂියා නමින් අලූත් විදේශ ප‍්‍රතිපත්තියක් ඇමරිකාව හඳුන්වා දුන්නා. තවද සෞදිය, ඉන්දියාව, ජපානය,  ඕස්ටේ‍්‍රලියාව ඇතුලත් නව යුධ දේශපාලන කක්ෂයක් බිහි කරන්න ඔවුන් කටයුතු කලා.  ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටි ශ‍්‍රී ලංකාව නාවුක පැත්තෙන්, බලශක්ති ක්‍ෂෙත‍්‍රය පැත්තෙන්, ගුවන් ක්‍ෂෙත‍්‍රය සහ වෙළඳාම පැත්තෙන් භූ දේශපාලනික වටිනාකමක් සහිතයි. එසේ නම් අපට ඉතාම පැහැදිලියි අපේ සාපේක්‍ෂ වාසිය කුමක්ද යන වග. අපි අමතක කළාට ශ‍්‍රී ලංකාව අතීතයේත් ලෝක වාණිජ මධ්‍යස්ථානයක්. කොළඹ ති‍්‍රකුණාමලය අක්ෂය රටේ ප‍්‍රධාන අර්ථික හා ජනගහන අක්ෂය හැටියට අප හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර මහානගරයේ ගොඩනැගෙන වරාය නගරය හෙවත් සාගර පුරය, කටුනායක ගොඩනැගෙන ගුවන් නගරය, බේරේ වැව අවට ගොඩනැගෙන ව්‍යාපාරික නගරය, මෙම කි‍්‍රයාවලියේ ආරම්භක බලාපොරොත්තුවක් ලෙස හඳුන්වා දිය හැකියි.

පරිගණක සහ සන්නිවේදන ධාරා දෙක එකතු වීමෙන් සිදුවන සුහුරු යුගයක් ඇතිවී තිබෙනවා !

4 වෙනි කාර්මික විප්ලවයෙන් පසු යුරෝපය මුල් කරගත් යාන්ත‍්‍රික තාක්ෂණය ගොඩනැගුණා. අද 1960 න් පසු ඇති වූ පරිගණක සහ සන්නිවේදන ධාරා දෙක එකතු වීමෙන් සිදුවන සුහුරු යුගයක් ඇතිවී තිබෙනවා. මේ යුගයේදී එකිනෙකට වෙනස් තාක්ෂණයන් ගණනාවක් සීග‍්‍රයෙන් දියුණුවට ලක්වේ. නැනෝ තාක්ෂණය, රොබෝ තාක්ෂණය, කෘතිම බුද්ධිය, ෙකාන්ටම් විද්‍යාව, බයෝ ටෙක්නොලොජි, ජීන් ටෙක්නොලොජි සීග‍්‍රයෙන් දියුණු වෙමින් තිබේ. අද ශ‍්‍රී ලංකාවේ ලාභ ශ‍්‍රමය නැහැ. රටේ වැඩිම විරැකියාවක් පවතින්නේ උගතුන් අතරයි. 8 පාස් අය අතර විරැකියාවක් නැති තරම්. උපාධිධාරී සහ උසස්පෙළ සමත් අය අතරේ විරැකියාව 24% ක්. උගතුන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුම විරැකියාවෙන් පෙළෙන බව ඉන් පෙනී යයි. එසේ නම් අපට අනාගතයට අවශ්‍ය කවරුන්ද? අපට සාපේක්‍ෂ වාසිය තිබෙන්නේ අපේ දැනුම මතයි. ඒ දැනුම ඉංජිනේරුවරු, වෛද්‍යවරු, තාක්ෂණවේදීන් වගේම සෑම ක්‍ෂෙත‍්‍රයකම සිටී. ඒ ශක්තියට අපි ආයෝජනය කළ යුතුයි. ඒ වෙනුවෙන් අප අමාත්‍යාංශය තාක්ෂණ නගරය නමින් නව තාක්ෂණ ප‍්‍රවේශයක් ඇති කර තිබේ.

රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මට්ටමට කාර්යක්‍ෂම කරන්නත් පුළුවන් !

හුඟක් දෙනෙක් කියනවා මේ රට හදන්න බැහැ. මේ රට හදන්න අමාරුයි, මේකේ ඉන්නේ හොරු, කම්මැලියෝ යනාදි වශයෙන්. නමුත් මම මගේ අත්දැකීමෙන් කියන්නේ මොන දුර්වලතා තිබුණත් රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන මට්ටමට කාර්යක්‍ෂම කරන්නත් පුළුවන්. ලාභ උපයන්නත් පුළුවන්. ආදායම් ගෙන එන්නත් පුළුවන්.

ලෝකයේ ආණ්ඩු ක‍්‍රම වර්ග තුනක් මම හඳුනාගෙන තිබෙනවා. එකක් තමයි විද්‍යාත්මක  ආණ්ඩු ක‍්‍රමය  එහෙම Scientific governors අනෙක් එක තමයි ප‍්‍රජාතාන්ති‍්‍රක ආණ්ඩු ක‍්‍රමය Democratic governors තුන් වෙනි එක තමයි ජනප‍්‍රිය ආණ්ඩු ක‍්‍රමය එහෙම නැත්නම් අපි කියනවා Popular governors කියලා. මොකද්ද විද්‍යාත්මක ආණ්ඩු ක‍්‍රමය? විද්‍යාත්මක ආණ්ඩු කරණයේදී අපි පළමුවෙන් අපේ ප‍්‍රමුඛතා  හඳුනා ගත යුතුයි. අපි ආයෝජනය කරන්න යම් කිසි මුදලක් නම් ඒ ආයෝජනය වැඩිම ප‍්‍රතිලාභ ලැබෙන තැන අර අපට වැඩියෙන්ම Return investment   එක තිබෙන තැන අපි ආයෝජනය කළ යුතුයි.

මාගේ මතය අනුව අප කළ යුත්තේ විද්‍යාත්මක ආණ්ඩුකරණ ක‍්‍රමවේදය අනුගමනය කිරීමයි. එහිදී යම් සංවර්ධනයකට ආයෝජනය කිරීමේදී ඊට සමාජ ආර්ථික වශයෙන් ඇතිවන බලපෑම සහ ප‍්‍රතිලාභ පිළිබඳව විඳිමත් ඇගයීමක් පවතී. එසේ නැතිව හිතන හිතන මොහොතට, විටෙක අධිවේගී මාර්ග තනන්නට, තවත් විටෙක අධ්‍යාපනයට, තවත් විටෙක ව්‍යාපාරික ප‍්‍රජාවට සැලසුමකින් තොරව ආයෝජනය කිරීම රට පැත්තෙන් ගත්තත් මහජනතාව පැත්තෙන් ගත්තත් කිසිඳු ප‍්‍රතිලාභයක් හෝ ප‍්‍රතිපළයක් නොලැබෙන බව අමාත්‍ය චම්පික රණවක පවසයි. මේ සියල්ල ජනපි‍්‍රය දේශපාලනය වන අතර එය වෙනුවට විද්‍යානුකූල සහ ප‍්‍රජාතාන්ත‍්‍රික ආණ්ඩු ක‍්‍රමයක මුසුවක් රටට අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.


මෙම විද්වත් කතිකාවට සමගාමී රටේ මහාමාර්ග පද්ධතිය දියුණු කිරීම සම්බන්ධයෙන් සහ විධිමත් නාගරික සැලසුම්කරණය සම්බන්ධයෙන් සාකච්ඡාවන් ද පැවැත්විණ. මෙගා මයින්ඩ් විද්වත් කතිකාවේ දෙවන අදියර ජුනි මාසයේ කි‍්‍රයාත්මක කිරීමට ද සැලසුම් කර ඇත.

Latest Video

Powered by Blogger.