Ad

ගුවන් හමුදාවේ ඉහළ 5කගේ ගිණුම් 40ක් පරීක්ෂාවට අවසර.



මිග් යානා සිද්ධියට අදාළව ගුවන් හමුදාවේ කමාන්ඩර්වරයකු ඇතුළු ඉහළ නිලධාරීන් 5 දෙනකුගේ බැංකු ගිණුම් 40ක් පරීක්ෂා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට ඊයේ (29) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබා දුන්නාය.

ඒ අනුව එම ගනු-දෙනුවට සැකසහිත ලෙස සම්බන්ධ වී ඇතැයි කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කමාන්ඩර්වරයකු ඇතුළු උසස් නිලධාරීන් 5 දෙනකුට අයත් බැංකු ගිණුම් 40ක තොරතුරු මූල්‍ය අපරාධ කොට්ඨාසයට ලබාදෙන ලෙස මෙහි දී මහේස්ත්‍රාත්වරිය අදාළ බැංකු ආයතන 7ක කළමනාකරුවන්ට නියෝග කර සිටියාය. එමෙන්ම අධිකරණ නියෝගයක් මගින් උදයංග වීරතුංග යන අයගේ බැංකු ගිණුම් 2015 අප්‍රේල් මස 29 දා සිට තහනම් කර තිබිය දී රුපියල් තුන්කෝටි පනස් හත් ලක්ෂයක මුදල් ඩුබායිහි පිහිටි බැංකු ගිණුමකට බැර කර ඇති බවටත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකණයට දැනුම් දෙමින් එම ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නාය.

මිග් යානා ගනුදෙනුවට අදාළව යුක්රේන සමාගමක් සමඟ උදයංග වීරතුංග යන අත්සන් කර තිබූ සැක සහිත ගිවිසුමක එම ආයතනය විසින් සහතික කර එවන ලද එම ගිවිසුමේ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, උදංග වීරතුංග නමැති සැකකරු මිග් යානා ගනුදෙනුවට අමතරව වසර 2008 දී ගුවන් යානා අලුත්වැඩියා කිරීම සම්බන්ධයෙන් තවත් පාර්ශ්වයක් සමඟ ගිවිසුම් ගතව ඇති බවටත් ප්‍රහාරක ගුවන් යානා මිල දී ගැනීම් සම්බන්ධයෙන් ද ලැබුණු තොරතුරුවලට අනුව විමර්ශනයන් සිදු කරන බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේය.

මිග් 27 ගුවන් යානා 4ක් මිල දී ගැනීම සම්බන්ධයෙන් බෙරිමිසා සමාගමට රුපියල් මිලියන 14න් 7ක් ගෙවා ඇති බවත්, ඉතිරි මිලියන 8.8ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් කී නීතිපති දෙපාර්තමේන්තුව උදයංග වීරතුංග යන අයට පැනමාව ලැට්වියාව වැනි රටවල් ගණනාවක ඇති ගිණුම් ඇති බවටත් කියා සිටියේය.

උදංග වීරතුංගගේ මෙරට ඇති ගිණුම් 16ට විදේශ මුදල් ප්‍රේෂණ මේ රටවලින් ලැබී ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති බව අධිකරණයට දැනුම් දුන් නීතිපති දෙපාර්තමේන්තුව ආවරණය වී ඇති ගිණුමකින් මිලියන 124ක් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 3ක් සටහන් කර ඇති බවටත් දැනුම් දුන්නේය.

මිග් යානා මිල දී ගැනීම සම්බන්ධයෙන් බෙරිමිසා සමාගම සමඟ ගිවිසුම් ගතව නැති බවත් යුක්රේන් මාෂ් සමාගම සමඟ මේ ගිවිසුමට එළැඹ ඇති බව අධිකරණයට දැනුම් දුන් නීතිපති දෙපාර්තමේන්තුව මේ ගිවිසුම්වලට අදාළ ආයතන සම්බන්ධයෙන් ලබා දී ඇති ලිපිනයන් සාවද්‍ය ඒවා වන බව ද අධිකරණයට කියා සිටියේය.

මේ වන විට උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට කුරියර් සේවාව, ද ෆැක්ස් පණිවිඩ සහ දුරකතන මගින් දැනුම් දී ඇති බවටත් යවන ලද පණිවිඩ නැවත ආපසු ලැබී ඇති බවටත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන් අතර, යුක්රේනයේ එක් නගරයක ඇති ලිපිනයක් වෙත මේ වන විටත් ලිපි යැවීමට නොහැකි වී ඇති බවත් දැනුම් දුන් අතර, ලබා දී ඇති අසත්‍ය කාරණා සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙක අතර අන්‍යෝන්‍ය ආධාර පනත යටතේ තොරතුරු ලැබී ඇති බවටත් කියා සිටියේය.

උදයංග වීරතුංග යන අයගේ නැන්දණිය වන ඉන්ද්‍රාණි මනම්පේරි මහත්මියගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය ලබා දුන් නියෝගයකට අනුව මේ වන විට ගිණුම් වාර්තා ලැබී ඇති බවත් එම ගිණුමේ රුපියල් මිලියන 20ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සිද්ධියට අදාළව පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට ඉිදරිපත් කළ රහස්‍ය ලේඛන අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය භාරයේ තබන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ සිද්ධියට අදාළව සාපරාධී කාරණා 13ක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙක අතර විමර්ශන සිදු කරන බවත් තවත් කාරණා 6ක් සම්බන්ධයෙන් විස්තර ලැබීමට නියමිත බවටත් නීතිපති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටි අතර, උදයංග වීරතුංග වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් පෙනී සිටියහ.

Powered by Blogger.