Ad
Ad

වකුගඩු රෝගය නිසා 50000ක් මරණයට : රජය කළේ වැරැද්දක්.




රජයේ සංඛ්‍යාලේඛනවල කුමන ආකාරයකින් සඳහන් වුවද, කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගය නිසා මේ වනවිට පුද්ගලයන් පනස්දහසක් මරණයට පත්ව ඇතැයිජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, පූජ‍්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

උන්වහන්සේ ඒ බව ප්‍රකාශ කලේ ග්ලයිෆොසේට් වල් නාශක සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයන්හි ප්‍රතිඵල පිළිබඳ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේදී (SEMA) පැවැති සම්මන්ත්‍රණයකදීය.



මීට අමතරව ස්ථිර වශයෙන්ම රෝගීන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් සිටින බවට තහවුරු වී තිබෙන බවත්, එසේ තිබියදී ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශක තහනම ඉවත් කළ බවත් උන්වහන්සේ පවසා සිටියහ.

ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය තහනම් කර තිබූ කාලයේදී මෙරටට ගෙන්වූ ග්ලයිෆොසේසෙට් කන්ටේනර් 32ක් වරාය තුළ රඳවාගෙන තිබෙන බවද ඒ හිමියෝ පවසා සිටියහ.

මෙම කාලය තුළ කොතරම් වල්නාශක ප්‍රමාණයක් ගෙන්වා තිබේද නොදන්නා බවත්, කෙසේ නමුත් කෘෂිකාර්මික ප්‍රදේශවල පැතිර යන වකුගඩු රෝගයට ග්ලයිෆොසේට් සම්බන්ධ වන නිසා කැබිනට් මණ්ඩලයේ තීරණය ආපසු හැරවීම සඳහා ජනමතයක් ගොඩනගමින් තිබෙන බවත් රතන හිමියෝ අවධාරණය කළහ.

මේ රටේ ඇමතිවරුන් දෙදෙනෙකුට තිබූ ප්‍රශ්නය තේ සහ රබර් වගාවට ග්ලයිෆොසේට් නොමැතිවීම බවත්, එහෙත් මෙරට ගොවි ජනතාව ග්ලයිෆොසේට් පූර්ණ වල්නාශකය නොමැතිව වගා කටයුතු සිදු කරන බවත් උනවහන්සේ පවසා සිටියහ.

රජය කළේ වැරැද්දක්

මේ අතර එම අවස්ථාවට එක වෙමින් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක මහතා පැවසුවේ ග්ලයිෆොසේට් පිළිකාකාරයක් බව ඔප්පුකර තිබියදීත් ඒවා රටතුළ භාවිතයට අනුමැතිය ලබා දීම කණගාටුවට කරුණක් බවයි.

එහිදී වැඩිදුරටත් මහාචාර්ය සරත් ගුණතිලක මෙසේ ද පැවැසීය.

"2005දී විතර උතුරු මැද පළාතේ වකුගඩු රෝගයක් පැතිර යන බව තිලක් අබේසේකර නමැති විශේෂඥ වෛද්‍යවරයා මට ප්‍රකාශ කළා. ඉන් පසුවයි ඒ පිළිබඳ පරීක්ෂණ කළේ. 2009දී විතර වෛද්‍ය සුජාතා සේනාරත්නත් ඒ පිළිබඳ අධ්‍යයනයක් කරන ලෙස ඉල්ලා සිටියා".

"වෘත්තීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරනවා නම් ඒ ස්ථානවලට යා යුතු වෙනවා. ඒ නිසා තමයි පදවි ශ්‍රී පුර ආදී ප්‍රදේශවලට ගියේ. ගොවීන් එකතු කරල සාකච්ඡා කළා. වෛද්‍ය චන්න ජයසුමනත් එහිදී හඳුනා ගත්තා. එතුමා පශ්චාත් උපාධියට කළේත් ඒ පිළිබඳ අධ්‍යයනයක්. මම සුපර්වයිසර් ලෙස කටයුතු කළා".

"ග්ලයිෆොසේට් සම්බන්ධව වතුර, ආහාර, පස, වල් නාශක යොදාගෙන පරීක්ෂණ කළා ඊට විරුද්ධව පැනනැඟුණු ප්‍රසිද්ධම තර්කය ලංකාවේ රසායනාගාර නොමැති බව පෙන්වීමයි. ඒ අනුව තමයි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ රසායනාගාර පරීක්ෂණයක් කළේ, වල් නාශක, කෘමිනාශක ආදිය වකුගඩු රෝගයට සම්බන්ධද කියලා. වල් නාශක වකුගඩු රෝගයට සෘජුව සම්බන්ධ බව අපි ප්‍රකාශ කළා. ඒක ලෝකයේම ප්‍රසිද්ධ කළා. ඒකට ගල් සහ මල් ද ලැබුණා".

"ලංකාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරු 12 දෙනකු එකතුවෙලා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයට පෙත්සමක් ඉදිරිපත් කළා අපි බොරුවක් කළා කියලා. ඒත් වාසනාවකට එහි රසායනාගාරය මට විරුද්ධ චෝදනා ප්‍රතික්ෂේප කළා. එමෙන්ම වර්ෂයේ පර්යේෂණ පිළිබඳ දෙන ත්‍යාගයක්ද මට ලැබුණා".

2015දී ඇමෙරිකා මහජන සෞඛ්‍ය පරීක්ෂණ සංවිධානය එම ආයතනයෙන් දෙන ජාත්‍යන්තර සම්මානය හිමිවුණා. ඇමෙරිකාවෙන් පිටත සිටින ජනතාව වෙනුවෙන් කරන සොයා බැලීම්වලට හිමි වන ඉහළම සම්මානය ඒකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මේ රටේ පස, ජලය ආදිය පිළිබඳ කළ පර්යේෂණ අනුවත් ආසනික්, කැඩ්මියම් ආදී බැර ලෝහ තිබෙන බව අනාවරණය වී තිබෙනවා.

ග්ලයිෆොසේට් කියන්නේ එකක්. ග්ලයිෆොසේට් වල් නාශක කියන්නෙ තවත් එකක්.

ග්ලයිෆොසේට්වල බලය වැඩි කිරීමට අතිරේක රසායනික ද්‍රව්‍ය යෙදූවිට එය විසකාරක වන බවත ඒක වෘත්තීය වෛද්‍ය විද්‍යාවෙන් ඔප්පු කොට තිබෙන බවත් සරත් ගුණතිලක මහතා මෙහිදී සඳහන් කළේය.

වසර 25ක් පමණ කාලයක පිරිසක් සමාජය නොමඟ යැවූ නමුත් ග්ලයිෆොසේට්වලට යොදන අතිරේක විස රසායන ද්‍රව්‍ය පිළිබඳව රහසක්ව පැවති බවද හෙතෙම පැවසීය.




1961දී වසරේදී ග්ලයිෆොසේට් සොයා ගත් අතර පයිප්පවල කරාම ඉවත් කිරීම සඳහා ඒවා පළමුව යොදා ගෙන ඇත. 1947දී වල් නාශකයක් ලෙස වෙළෙඳපොළට නිකුත්කර ඇත.

මේ පිළිබඳව තව දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා,

"ග්ලයිෆොසේට් සහ අනිත් වල් නාශක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒවා කොළවලට උරාගෙන මුල්වලින් පසට, ජලයට එකතු වෙනවා.ග්ලයිෆොසේට් ජලය ආදිය සමඟ ආහාරයට ගන්නා විට ආමාශයේ තිබෙන රසායනික ද්‍රව්‍ය සමඟ ගැටෙනවා. ඒ නිසා තමයි මේවා සතුන්ට විස වෙන්නෙ.1985 පෙබරවාරි 11 වැනිදා ඇමෙරිකාව පරිසර පාලන අධිකාරිය පරීක්ෂණ මඟින් ග්ලයිෆොසේට් පිළිකාකාරකයක් බව අනාවරණය කළා".

"තේ බෑග්' වල ග්ලයිෆොසේට් වැඩියි. කොළවලින් ග්ලයිෆොසේට් උරා ගැනීම ඊට හේතුවයි. 1996 ජාන තාක්ෂණය සහිත ආහාර වෙළෙඳපොළට ආවා. ගෙවී ගිය කාලය තුළ මුත්‍රා සමඟ පිටවන ග්ලයිෆොසේට් ප්‍රමාණය 13%කින් වැඩිවී තිබෙන බව අනාවරණය වී තිබෙනවා.මොන්සැන්ටෝ සමාගම තවත් වසර 15ක් සඳහා ග්ලයිෆොසේට් සඳහා යුරෝපා සංගමයෙන් අනුමැතිය ඉල්ලුවා. එහිදී යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු තමන්ගේ මුත්‍රා පරීක්ෂණ කරවා ගත්තා. සාමාන්‍ය ජලයට වඩා 17 ගුණයකින් ඔවුන්ගේ මුත්‍රාවල ග්ලයිෆොසේට් අඩංගු බව තහවුරු වුණා".

"එමෙන්ම මවුකිරිවලත් ග්ලයිෆොසේට් අඩංගු බව තහවුරු වී තිබෙනවා.ග්ලයිෆොසේට් සාන්ද්‍රණය අනුව වෙනස් වෙනස් ප්‍රතිඵල ලබාදෙන බවත් මේ වනවිට සොයාගෙන තිබෙනවා. ප්‍රජනනයට, පවා විසකාරකයක් වෙනවා.මොන්සැන්ටෝ සමාගමට විරුද්ධව කැලිෆෝනියාවේ නඩු 400කට වඩා පවරා තිබෙනවා. ඇමෙරිකාවේ ගත්තොත් 2000කට වඩා වැඩියි.ආඝ්‍රාණය කිරීමෙන් සහ සමෙන් පවා ග්ලයිෆොසේට් විස රසායන ශරීරයට ඇතුළු වෙනවා. ඒත් උතුරු මැද පළාතෙ දුප්පත් ගොවියාට කවුරුවත් ඒක කිව්වේ නැහැ. ඒවා යොදන අයගෙ ජාන විකෘති වෙනවා".

"ග්ලයිෆොසේට්වලින් වකුගඩු රෝග විතරක් හැදෙනව කියල කිව්වත් ඇමෙරිකාවේ කළ පරීක්ෂණයක් මඟින් පුංචි ළමයින්ට ස්වේච්ඡතාව (ඔටිසම්) රෝග ඇති වෙනවා. දියවැඩියාවටත් මේක හේතුවක් වෙන්න පුළුවන් කියල පෙන්වා දී තිබෙනවා. මතක ශක්තිය අඩුවෙනවා.වසර 25ක් ග්ලයිෆොසේට් ගහල 50,000ක් මැරෙන තුරු එම රසායන ද්‍රව්‍ය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න රසායනාගාරයක් මේ රටේ නැහැ. අපේ ජලයේ, පරිසරයේ, මවුකිරිවල ග්ලයිෆොසේට් තිබෙනවාද කියල පරීක්ෂණයක් කරන්න විදියක් නැහැ".

"අපේ රටේ ප්‍රතිවාදී රටවල් අපේ රටේ තේවල ග්ලයිෆොසේට් ගැන පරීක්ෂණ යුරෝපයේ සිදු කරනවා. ග්ලයිෆොසේට් විරෝධතාවක් යුරෝපයේ තියෙනවා. අපි පරීක්ෂණ නොකළත් කළත් ලෝකය ඒක කරාවි! එහි ප්‍රතිඵල මත ප්‍රතිවිපාක අපට දැනගන්න ලැබේවි!"ගොවිතැන් කරන්න වල් නාශක අවශ්‍යයි" යන්න මිථ්‍යාවක්. චීනය එම මිථ්‍යාව බිඳ දමන හැටි පෙන්වා දෙමින් තිබෙනවා. පරාක්‍රමබාහු ආදී රජවරු රට ස්වයංපෝෂිත කළේ වල් නාශක, රසායනික පොහොර යොදා ගෙන නොවෙයි".




Powered by Blogger.