හම්බන්තොට තුන් ඈවරයි : ඩොලර් මි. 584ක අවසන් වාරිකය එයි.



හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම වන ඇමෙරිකානු ඩොලර් මිලියන 584ක් (රු.බිලියන 93) මුදල චයිනා මර්චන්ට්පෝර්ට් හෝල්ඩිංස් (CM Port) සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ඊයේ (20) ලබා දෙන ලදී.

හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින් සැළකෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පෙන්වා දෙයි.

පසුගිය වසරේ දෙසැම්බරයේ දී සහ 2018 ජනවාරි මස මුදා හැරුණු පළමු හා දෙවන වාරිකයන් සඳහා පිළිවෙළින් ඇ.ඩා. මිලියන 292ක් (රු. බිලියන 46ක්) සහ ඇමරිකානු ඩොලර් මිලියන 97ක් (රු. බිලියන15ක්) චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබා දී ඇති බව ද වරාය අධිකාරිය සඳහන් කරයි.

මේ අනුව චයිනා මර්චන්ට් පෝර්ට් සමාගම සම්පූර්ණ කෙරෙන පළමු ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 976 (රු. බිලියන 156) කි. මීට අමතරව එකී ගිවිසුම් ප්‍රකාරව වරාය හා සමුද්‍රික ක්‍රියාකාරකම් සඳහා දෙවන ආයෝජන වටිනාකම වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් මිලියන 146 ක (රු. බිලියන 23) මුදලක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත තැම්පත් කිරීමට එම සමාගම එකඟතාව පලකර ඇත.

හම්බන්තොට වරායේ ශක්‍යතා හා කාර්යක‍ෂම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුවේ එකඟතාවයෙන් පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට් පෝර්ට් හොල්ඩිංස් සමාගම අතර රාජ්‍ය හා පුද්ගලික හවුල් ව්‍යාපාර ආකෘතිය යටතේ හම්බන්තොට වරාය කළමනාකරණ, මෙහෙයවීම හා සංවර්ධනය කිරීම මූලික කරගත් ගිවිසුමට අත්සන් තැබිණි.

පසුගිය වසරේ දෙසැම්බර් මස 9 වැනි දින හම්බන්තොට වරාය කළමනාකරණය කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ද ගිවිසුමකට එළඹ ඇත. ශ්‍රී ලංකාව සුවිසල් සමුද්‍රීය හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් මෙසේ ගිවිසුම්ගත සමාගම් දෙක ස්ථාපිත වීම තුළ හම්බන්තොට වරාය කටයුතු එක හා දෙක අදියර සඳහා ඇ.ඩො.මිලියන 400ක් හා 600ක් යෙදවේ. මේ දැවැන්ත ආයෝජනය තුළින් විශාල විදේශීය ආයෝජන රට තුළට ආකර්ශනය වීම සිදුවනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ධනාත්මක ප්‍රවණතා වේගයෙන් ඉහළ යනු ඇති බව ද මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක මහතා සඳහන් කෙළේ ය.

හම්බන්තොට වරායේ සිදු වන මෙම ආයෝජනයත් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ලාභාංශය ඉදිරියේ දී තව දුරටත් වර්ධනය වනු ඇති බව ද පෙන්වා දුන්නේ ය.

හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වූ ඇමෙරිකන් ඩොලර් මිලියන 584.19 කි. (රු. බිලියන 93) ක චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙත ඊයේ (20) ලබා දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරීහූ මෙන්ම චයිනා මර්චන්ට් පෝර්ට් සමූහයේ උසස් නිලධාරීහූ එක් වුහ.

AD S

Info Sri Lanka News | Sinhala

info sri lanka news, infosrilankanews, info sri lanka, infosrilanka, infolanka, infolankanews, info lanka news, info lanka news room, info lanka sinhala, sinhala news sri lanka, lanka info sinhala, breaking news sri lanka, sri lanka, sri lanka breaking news, news lanka
Powered by Blogger.