දේශප්‍රේමී මහින්ද චීනාට විකුණුනු හැටි... (පළමු කොටස)





(2018 ජුනි 25 වැනි දින New York Times පුවත්පතේ පළවූ මරියා අබි-හබීබ් විසින් ලියන ලද ගවේෂණාත්මක වාර්තාවේ සම්පූර්ණ සහ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය - පළමු කොටස)

හම්බන්තොට, ශ්‍රී ලංකාව - ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ, සිය සිහින වරාය ව්‍යාපෘතිය සඳහා ණය සහ ආධාර ලබාගැනීම පිණිස සිය චීන මිතුරන් වෙත ගිය සෑම අවස්ථාවකම ලැබුණේ එකම එක පිළිතුරකි: එනම්, "ඔව්" යන්නයි. එසේ ය; ඒ, සෑම ශක්‍යතා අධ්‍යයන වාර්තාවක්ම මෙම ව්‍යාපෘතිය අසාර්ථක වන බව පවසද්දී ය; ඉන්දියාව ද ඇතුළුව ලංකාවට නිතර ණය දෙන සෑම රටක්ම ණය දීම ප්‍රතික්ෂේප කරද්දී ය; ලංකාවේ ණය බර රාජපක්ෂ යටතේ වේගයෙන් ප්‍රසාරණය වද්දී ය.

බෙයිජිංහි රාජ්‍ය සංස්ථාවක් වන China Harbor Engineering Company සමග වසර ගණනක් පුරා කෙරුණු ඉදිකිරීම් සහ කේවල්කිරීම් අවසානයේ, හම්බන්තොට ව්‍යාපෘතිය කැපී පෙනුණේ එකම එක කරුණක් හේතුවෙනි; එනම්, අසාර්ථක වීම හේතුවෙනි. වසරකට නැව් දස දහස් ගණනක් හම්බන්තොට පසුකර යද්දී, 2012 වසරේ හම්බන්තොටට ආකර්ෂණය කරගැනීමට හැකි වූයේ නැව් 34කි.

ඉන්පසුව එය ද චීනයට සින්නක්කර විය.

රාජපක්ෂ මහතා 2015දී බලයෙන් පහකිරීමෙන් පසුව ද, බලයට පත්වූ නව රජය, රාජපක්ෂ විසින් ගන්නා ලද ණය ගෙවාගැනීමට නොහැකිව සිර වී සිටියේ ය. චීනයෙන් එල්ල වූ දැවැන්ත පීඩනය මැද මාස ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් ඉදිරියට ගිය සාකච්ඡා සහ කේවල්කිරීම් අවසානයේ, පසුගිය දෙසැම්බරයේදී හම්බන්තොට වරාය සහ ඒ අවට අක්කර 1,500ක භූමිය චීනයට 99-අවුරුදු බද්දට පවරාදීමට ශ්‍රී ලංකා රජයට සිදුවිය. ගනුදෙනුව අවසානයේ සිය එදිරිවාදී රටක් වන ඉන්දියාවට සැතපුම් සිය ගණනක් ආසන්නයේ පිහිටි භූමියකට අයිතිවාසිකම් කීමට පමණක් නොව, ආර්ථික සහ හමුදාමය වශයෙන් අතිශය වැදගත් ගමන් මාර්ගයක පිහිටි මර්මස්ථානයක් සම්පූර්ණයෙන්ම සිය'තට ගැනීමට ද චීනයට හැකියාව ලැබිණි. ටයිම්ස් සඟරාවේ ගණන්බැලීම් අනුව මෙසේ පසුගිය දශකය තුළ චීනය විසින් "සහය දෙන ලද" වරාය ව්‍යාපෘති 35ක් ලෝකය පුරා විසිරී පවතී. (සිතියම සඳහා පළමු කමෙන්ටුව බලන්න.)

රටවලට ණය දීම මාර්ගයෙන් බලය තහවුරු කරගැනීමේ (සහ ණය හිලව් කරගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමේ) චීන න්‍යාය පිළිබඳව, ශ්‍රී ලංකාවේ සිද්ධිය විචිත්‍රවත් උදාහරණයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ණය ගනුදෙනුව, චීන ජනාධිපති ශී ජින් පිංගේ "Belt and Road" ව්‍යාපෘතිය සම්බන්ධ තවත් දරුණුතම විවේචනයකට ද හේතුවිය; එනම්, දුර්වල රටවල් වලට ආයෝජන සහ ණය ලබා දී, ගෙවාගත නොහැකි ණය උගුලක සිරකිරීම සහ එමගින් එකී රටවල වංචා-දූෂණ-අක්‍රමිකතා සහ පවුල් පාලනය තරකිරීමට සහය දීම පිළිබඳව ය.

මාස ගණනක් තිස්සේ මෙම වරාය ව්‍යාපෘතිය සම්බන්ධ ශ්‍රී ලාංකීය, ඉන්දීය, චීන සහ බටහිර රටවල බලධරයන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා සහ ගිවිසුම් සහ ලියකියවිලි අධ්‍යයනය කිරීමෙන් පසුව, චීනය සහ ඊට අයත් සමාගම්, මුදලට කෑදර කුඩා රටක් සම්පූර්ණයෙන්ම සිය අණසකට ගත් ආකාරය විමසා බැලීමට අපට දැන් හැකියාව ලැබී තිබේ.

* 2015 ජනාධිපතිවරණ සමයේදී චීන වරාය ඉදිකිරීම් අරමුදලෙන් දැවැන්ත මුදල් ප්‍රමාණයන් රාජපක්ෂ ප්‍රචාරණ කඳවුර වෙත ඍජුවම ගලාගියේ ය. ඒ, රාජපක්ෂ සෑම විටකම චීන කොන්දේසිවලට නැමුණු අයෙකු වීම සහ, ඉන්දියාව සහ දකුණු ආසියාවේ බල තුලනය චීනය දෙසට නම්මවාගැනීමේ ව්‍යාපෘතියේදී චීනයේ සුවචයකු ලෙස ඔහු හඳුනාගනු ලැබීම හේතුවෙනි. මෙම ගනුදෙනු මේ ආකාරයට සිදු වූ බව, ඒ සම්බන්ධ රාජ්‍ය පරීක්ෂණයක් මගින් අනාවරණ කරගෙන විස්තර වශයෙන් දක්වනු ලැබූ ලිපි සහ මුදල් චෙක්පත් පරීක්ෂා කිරීම මගින් තහවුරු කරගැනීමට The New York Times වන අපට හැකියාව ලැබිණි.

* හම්බන්තොට වරාය පිළිබඳව චීන උනන්දුව හුදෙක්ම ආර්ථිකමය බව චීන විශ්ලේෂකයන් අවධාරණය කරන දෙයකි; එහෙත්, ශ්‍රී ලාංකික බලධරයන් පවසන්නේ ආරම්භයේ පටන්ම බුද්ධිමය සහ උපායමාර්ගික කරුණු ද සාකච්ඡාවල වැදගත් මාතෘකාවක් වූ බවයි.

* මුලදී ලිහිල් කොන්දේසි මත ණයදීම ඇරඹුණත්, කාලසීමාව කේවල්කිරීම සහ අමතර මුදල් අයැදීම සමග මෙකී කොන්දේසි ක්‍රමක්‍රමයෙන් දැඩි විය. ණයෙන් නිදහස් වීමට ශ්‍රී ලාංකීය බලධරයන් ආයාස දරනවිට, චීන කොන්දේසි වරායේ අයිතිය වෙත කේන්ද්‍රගත විය.

* මෙම ගනුදෙනුවෙන් පසුව වරාය ගනුදෙනුවට අදාළව චීනය වෙත ලංකාවේ පැවති ණයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක් කපාහරිනු ලැබුණත්, වෙනත් චීන ණය තවමත් පැවතීම සහ ඒවායේ පොළී අනුපාතික, ලෝකයේ වෙනත් ණය දෙන ආයතනවලට වඩා බෙහෙවින් වැඩි වීම හේතුවෙන්, ලංකාව වෙන කවරදාටත් වඩා චීනයට ණය වී සිටියි.

මෙම ලිපිය සම්බන්ධව අදහස් දැක්වීම පිණිස රාජපක්ෂ මහතා හෝ ඔහුගේ නියෝජිතයන් සම්බන්ධ කරගැනීමට මාස ගණනක් තිස්සේ උත්සාහ දැරුවත්, රාජපක්ෂගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. චීන වරාය ව්‍යාපෘති නිලධරයන්ගෙන් ද කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශ වාර්තාවලින් මෙම තත්ත්වය පිළිබඳව අඳුරු චිත්‍රය මනාව පෙනේ. මෙම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ආදායම වන්නේ ඩොලර් බිලියන 14.8කි. එහෙත් ශ්‍රී ලංකාවට, ලෝකය වටා විසිරී සිටින ණයහිමියන්ට ගෙවීමට ඇති ආපසුගෙවීම් ප්‍රමාණය ඩොලර් බිලියන 12.3කි.

ඉන්දීය රජයේ උපදේශකයකු මෙන්ම නවදිල්ලියේ පිහිටි ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් වන Center for Policy Researchහි විශ්ලේෂකයකු වන බ්‍රහ්මා ශෙලානි මෙසේ පවසයි: "රටක් යටත් කරගැනීමට ඇත්තේ මාර්ග දෙකකි: එකක් කඩුව ය, අනෙක ණය යැයි ඇඩම් ස්මිත් පවසා තිබේ; චීනය දෙවැන්න තෝරාගෙන තිබේ." ඉන්දියාව විශේෂයෙන්ම මේ ගනුදෙනුව පිළිබඳව අවධානය යොමුකරන්නේ, ණය හිළව්වට ලංකාවේ හමුදාමය මර්මස්ථාන පාවිච්චි කිරීමේ අයිතිය චීනය විසින් ඉල්ලා සිටීමේ හැකියාව නිසා ය. (අවසාන ගිවිසුම ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ ආරාධනයකින් තොරව චීනයට ශ්‍රී ලංකාවේ හමුදා ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි ය.) "හම්බන්තොට ආයෝජනය සාධාරණීකරණය කිරීමට ඇත්තේ එකම එක පදනමකි; එනම්, ජාතික ආරක්ෂාවයි. ඔවුන් අනිවාර්යයෙන්ම චීන හමුදාව ගොඩබානු ඇතැයි" ඉන්දීය හිටපු විදේශ කටයුතු ලේකම් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශක ශිවශංකර් මෙනන් පවසයි.

චීනය සහ ලංකාව අතර දීර්ඝ කාලයක පටන්, එනම්, චීන විප්ලවයෙන් පසුව මාවෝ රජය පිළිගැනීමේ කාලයේ පටන්, පැවත එන සුහද සබඳතා පවතී. එහෙත් චීනය අමතක කළ නොහැකි මිතුරකු වන්නේ වසර 26ක් පුරා දිග්ගැස්සුණු දමිළ බෙදුම්වාදී ගැටුම් සමයේ පටන් ය. වර්ෂ 2005දී ජනාධිපති පදවියට පත්කරගන්නා ලද රාජපක්ෂ ජනාධිපති ධුරය හොබවන්නේ, මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හුදෙකලාව කරනු ලැබ සිටි කාලයක ය. ඔහු යටතේ ශ්‍රී ලංකාව ආර්ථික, හමුදා උපකරණ සහ එක්සත් ජාතීන් හමුවේ ශ්‍රී ලංකාවට රැකවරණය ලබාදීම වෙනුවෙන් චීනය මත තදින් යැපෙන මට්ටමට පැමිණ තිබිණි. වර්ෂ 2009දී යුද්ධය අවසාන වීමෙන් පසුව රාජපක්ෂ සහ පවුල සිය බලය තහවුරු කරගත්තේ ය. රාජපක්ෂ සමයේ කූටප්‍රාප්තියේදී, රාජපක්ෂ සහ සහෝදරයෝ අමාත්‍යංශ ගණනාවක් හරහා රජයේ සමස්ත වියදමෙන් 80%කට වගකීවෝ ය. චීනය වැනි විදේශ රටවල ආණ්ඩු ඍජුවම ගනුදෙනු කළේ ඔවුන් සමග ය. ඉතින් ඒ අනුව, රාජපක්ෂට සිය නොදියුණු ගම්බද හම්බන්තොට ප්‍රදේශයේ වරායක් ඉදිකිරීමට අවශ්‍ය වූ විට, ඊට එරෙහිව මතුවූ බාධක ඉතා පහසුවෙන් ඉවත් කරගන්නා ලදී.

බ්‍රිතාන්‍යය මෙන් හතරෙන් පංගුවක භූමියක්, මිලියන 22ක ජනගහණයක් සහ ප්‍රධාන වරායෙන් ඉතා හොඳ මුල්‍ය සැපයුමක් තිබියදී දෙවැනි වරායක අවශ්‍යතාව පිළිබඳව ආරම්භයේ පටන්ම නිලධාරීහු ප්‍රශ්න කළ හ; රජය විසින් කරන ලද ශක්‍යතා අධ්‍යයන වාර්තාවලින් ඉතා පැහැදිලිව ප්‍රකාශ වූයේ, හම්බන්තොට වරායක් ඉදිකිරීම කිසිසේත් ආර්ථිකව වාසිදායක නොවන බවයි.

"ඔවුන් [ලංකාව] මේ ව්‍යාපෘතිය ආරම්භයේදීම අප වෙත ආවා; එහෙත් ඉන්දීය සමාගම් සියල්ල එය කෙළින්ම ප්‍රතික්ෂේප කළා. එය ඒ කාලෙත් ආර්ථිකව අවලංගු කාසියක්; දැනුත් එහෙමමයි" යනුවෙන් පවසන්නේ ඉන්දීය හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් ය.

එහෙත් රාජපක්ෂ ව්‍යාපෘතියට අවසර දුන්නේ ය; අවසර දුන්නා පමණක් නොව, තමන් මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලු අනතුරු ඇඟවීම් නොසලකා ඊට අනුමැතිය දුන් බව රට පුරා මහත් ආඩම්බරයෙන් ප්‍රචාරය ද කළේ ය.

(දෙවැනි කොටස)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ලංකාවේ දෙවැනි මහාවරාය සඳහා සුපරීක්ෂාකාරී මෙන්ම ආර්ථික වශයෙන් ඵලදායී සැලසුමක් සකස් කිරීම අරඹන්නේ 2007දී ය. (මූලාශ්‍රයය වරාය අධිකාරී බලධාරයන්ගෙනි.) ඒ අනුව, 2010දී සීමිත ව්‍යාපාර සංඛ්‍යාවක් සඳහා ඉඩ විවෘත කිරීමට ද, මහාපරිමාණ ඉඩ ලබාදීම්වලට ප්‍රථම මුල් අදියරේ ආයෝජනවලින් ප්‍රතිලාභ ලැබෙනතුරු සිටීමට ද යෝජනා වී තිබිණි. ඒ අනුව, ව්‍යාපෘතියට අදාළ ප්‍රථම විශාල ණය මුදල වන ඩොලර් මිලියන 307ක ණයමුදල ලබාගන්නා ලද්දේ චීන රජයේ ආනයන-අපනයන බැංකුව හෙවත් "එක්සිම් බැංකුව" (Exim bank) වෙතිනි. එහෙත් මෙම ණය මුදල ලබාදෙනු ලැබුවේ එක ප්‍රබල කොන්දේසියක් පිට ය: එනම්, මෙම ණය මුදල අනුමත වන්නේ වරායේ සියලු ඉදිකිරීම් කටයුතු බෙයිජිංහි රුචිය පරිදි තෝරාගනු ලැබූ China Harbor සමාගමෙන් සිදුවන්නේ නම් පමණි. මේ බව අප දන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් යවන ලදුව, විකිලීක්ස් ජාත්‍යන්තර වෙබ් අඩවිය වෙත නිරාවරණය කරනු ලැබූ පණිවුඩයකිනි. (පරිවර්තක සටහන: විකිලීක්ස් යනු විවිධ හේතූන් මත රහසිගතව පවත්වාගෙන යනු ලබන ලේඛන සමාජය වෙත නිරාවරණය කරන වෙබ් අඩවියකි. විකිලීක්ස් වෙතින් අනාවරණ කරන ලද දස දහස් ගණනක් වූ විවිධ ලේඛන අතර, ලෝකයේ විවිධ රටවල රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ලේඛන ද තිබේ. විකිලීක්ස්හි අරමුණ රජයක් විසින් හෝ වෙනයම් ආයතනයක් විසින් කරගෙන යනු ලබන යම් රහසිගත ක්‍රියාවක් පිළිබඳව වරදකාරීත්වයෙන් පෙළෙන, එය සමාජයට අනාවරණය කිරීමට අවශ්‍ය පුද්ගලයන්ට, එය නිර්නාමිකව කිරීමට හැකි ආරක්‍ෂිත ක්‍රමවේදයක් ලබාදීමයි.)

සාමාන්‍යයෙන් ණය ලබාදීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීම වළක්වමින් මෙවැනි කොන්දේසි පැනවීම චීනය විසින් ලෝකයේ වෙනත් රටවල ව්‍යාපෘති සඳහා ද කරනු ලබන දෙයකි. දකුණු ආසියාතික කලාපය පුරාම විවිධ රටවලට චීන රජය විසින් මෙසේ ඩොලර් බිලියන ගණන් ණය මුදල් ලබා දී ඇති අතර, ඒ සෑම ණයක් සඳහාම, චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පැවරිය යුතු ය යන කොන්දේසිය පැනවීම මගින්, දහස් ගණන් චීන ජාතිකයන්ට රැකියා අවස්ථා ලබාදෙනු ලැබේ.

එහෙත් හම්බන්තොට ගනුදෙනුව සඳහා මීට වඩා කොන්දේසි ද අඩංගු විය.

ශ්‍රී ලංකාවේ හිටපු විදේශ ලේකම් සහ චීන තානාපති නිහාල් රොඩ්රිගෝ මහතා පවසන පරිදි, චීන බලධරයන් සමග පැවති සාකච්ඡාවලදී, බුද්ධිමය තොරතුරු හුවමාරුව මෙම ගනුදෙනුවෙහි අප්‍රසිද්ධ නමුත් අත්‍යවශ්‍ය කොන්දේසියක් විය. The Times සමග කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී රොඩ්රිගෝ මහතා පවසා සිටි පරිදි, චීන බලධරයන්ගේ කොන්දේසිය ඍජුවම පහත ප්‍රකාර විය: "මෙහි [හම්බන්තොට වරායට] එන්නේ කවුද, එහි නවතින්නේ කවුද යන්න ඔබලා අපට කිවයුතු යැයි අප බලාපොරොත්තු වනවා."

ඉන්පසුව ගතවූ වර්ෂ කීපය තුළ රාජපක්ෂ සමග සබඳතාව හොඳ මට්ටමකින් පවත්වාගැනීම පිණිස චීන බලධරයන් බොහෝ දෑ කළ අතර, රාජපක්ෂ චීන කොන්දේසිවලට දැක්වූ නම්‍යශීලීභාවය ඊට ප්‍රධාන හේතුව විය. ශ්‍රී ලංකාවේ 2015 ඡන්දයේ අවසාන මාස කීපය තුළ ලංකාවේ චීන තානාපතිවරයා බොහෝදෙනා සමග හමුවීම් පවත්වා, චීනය සමග ආර්ථික සබඳතා නැවැත්වීමට තර්ජනය කරමින් සිටි විපක්ෂයට එරෙහිව චීන-හිතවාදී රාජපක්ෂ ශක්තිමත් කරවීම කෙරෙහි උනන්දු කරවීමට කටයුතු කළේ ය; කොටින්ම කොළඹ ගොල්ෆ් ගොල්ෆ් පිටිවල ගොල්ෆ් ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ සහායකයන් සමග ද චීන තානාපතිවරයා මෙසේ හමුවීම් පවත්වා තිබිණි.

2015 ජනවාරි මාසය ළඟාවත්ම, රාජපක්ෂ කඳවුර වෙත දැවැන්ත මුදල් කන්දරාවල් ගලා ඒම ඇරඹිණි.

අවම වශයෙන් ඩොලර් මිලියන 7.6ක මුදලක්වත් ස්ටැන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ "චයිනා හාබර්" ගිණුමෙන් මහින්ද රාජපක්ෂ කඳවුරට ලැබුණු බව, ටයිම්ස් පත්‍රයට දක්නට ලැබුණු (දැනට කෙරීගෙන යන රාජ්‍ය විමර්ශනයකට අදාළ) ලියවිල්ලකින් පැහැදිලිව පෙනේ. මෙකී ලියැවිල්ලේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ චයිනා හාබර් සමාගමේ අනන්‍යතාව තහවුරු කරන ලද ගිණුම් අංකය සහ මෙම චෙක්පත යොමුකර තිබූ ගැනුම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනගන්නා ලද වෙනත් විස්තර ද අඩංගු ය.

ඡන්දයට දින 10කට කලින් ඩොලර් මිලියන 3.7කට ආසන්න මුදලක් චෙක්පත් මගින් බෙදාදෙන ලදි: ප්‍රචාරක ටී-ෂර්ට් මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 678,000කුත්, ඡන්ද දායකයන්ට සාරි ඇතුළු වෙනත් ත්‍යාග ලබාදෙනු පිණිස තවත් ඩොලර් 297,000කුත් වෙන්කර තිබේ. රාජපක්ෂ වෙත ප්‍රසිද්ධියේ සහය දුන් එක්තරා ජනප්‍රිය භික්ෂුවකට ඩොලර් 38,000ක චෙක්පතක් ලියා දී තිබූ අතර, තවත් ස්වේච්ඡා අනුග්‍රාහකයන් දෙදෙනෙකු මාර්ගයෙන් අරලියගහ මන්දිරය වෙත යොමුකරන ලද චෙක්පත්වල වටිනාකම ඩොලර් මිලියන 1.7කි.

මේ බොහොමයක් මුදල් බෙදාදෙන ලද්දේ චයිනා හාබර් ගිණුම යටතේ පවත්වාගෙන ගිය "HPDP Phase 2" නම් උප ගිණුමකිනි. මෙහි HPDP යනු "Hambantota Port Development Project" හෙවත් "හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය" යන්නට කෙටි යෙදුමකි.

වසර පහකට ආසන්න කාලයක් පුරා කිසිදු නිශ්චිත පිළිවෙලකින් තොරව ලෝකය පුරා කරගෙන යනු ලැබූ "Belt and Road" බල ව්‍යාපෘතිය අවසානයේ, එක් එක් රට සමග ගනුදෙනු කීයක් කර තිබේ ද, එකී ගනුදෙනු මගින් එම රට කොතරම් අස්ථාවර මට්ටමකට පත්ව සිටින්නේ ද යන්න චීන බලධරයෝ දැන් නිහඬව ගණන් බලමින් සිටිති. නිර්නාමිකව පමණක් අදහස් දැක්වීමට ඉදිරිපත් වූ එක් චීන ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයකුට අනුව, මෙම ගණන් බැලීම තවමත් සම්පූර්ණ නැත. සෑම ව්‍යාපෘතියක් සමගම නොවරදවාම පාහේ කෙරෙන මෙවැනි අල්ලස් මගින් චීනයට වගවීම් නිර්මාණය කෙරෙනු ලබන බවටත්, ව්‍යාපෘති මගින් ලාභ ඉපයීමට තවත් අපහසු වන බවත් සමහර චීන බලධරයන්ගේ අදහසයි. මෙම අදහස චීන ජනාධිපතිගේ පසුගිය වසරේ කථාවකින් ද ඉස්මතුව පෙනුණි: "Belt and Road ව්‍යාපෘතිය අවංකභාවයෙන් යුතුව ගොඩනංවනු පිණිස අපි දූෂණ වංචාවන්ට විරුද්ධව ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරන්නෙමු."

උදාහරණයක් ලෙස බංග්ලාදේශය ගතහොත්, චයිනා හාබර් සමාගම අනාගතයේ කෙරෙන සියලු කොන්ත්‍රාත්වලින් නෙරපා හැර තහනම් කර තිබෙන බව පසුගිය ජනවාරියේ බංග්ලාදේශ බලධාරීහු ප්‍රකාශ කළ හ; ඒ, මහාමාර්ග අමාත්‍යංශ නිලධාරීන්ට තේ පෙට්ටියක බහා ඩොලර් ලක්ෂයක අල්ලස් ලබාදීමට උත්සාහ කිරීමේ චෝදනාව මත ය. එසේම චයිනා හාබර් සමාගමේ මවු සමාගම වන "China Communications Construction Company" හෙවත් චීන සංනිවේදන ඉදිකිරීම් සමාගම (කෙටියෙන් CCCC) ද, පිලිපීනයේ ලෝක බැංකු ව්‍යාපෘති සඳහා අයදුම් කිරීමේදී කරන ලද අක්‍රමිකතා මත වර්ෂ 2008දී ලෝක බැංකුව විසින් වසර නවයක තහනමකට යටත් කරන ලදී.

කෙසේ වෙතත්, ලංකාවේ මෙකී වරාය පැහැරගැනීමත් සමගම, Belt and Road ව්‍යාපෘතිය තවදුරටත් මහද්වීප තුනක් අතර සංවර්ධනය පිණිස මුදල් යෙදවීමේ විවෘත ව්‍යාපෘතියක් නොවන බවට සමහර චීන බලධරයෝ අදහස් දක්වති. පසුගිය මාර්තු මාසයේ පැවති චීන සංවර්ධන සමුළුවේදී අදහස් දැක්වූ Silk Road Fund හෙවත් සේද මාවත් අරමුදලේ සභාපතිනි, ජින් චී මහත්මිය පැවසුවේ, "අපට අවදානම පාලනය කරගත නොහැකි නම්, Belt and Road ව්‍යාපෘතිවලට වැඩිදුර යාමට හැකියාවක් නෑ" යනුවෙනි. සේද මාවත අරමුදල යනු චීන රජයට හිමි ආයෝජන අරමුදලකි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සලකන්නේ නම්, හම්බන්තොට වරාය තවමත් ලාභ ලැබිය හැකි මට්ටමට පත් කළ හැකි ය, එසේ කළ නොහැකි නම් අඩුවශයෙන් කලාපය තුළ චීන වෙළෙඳාම ශක්තිමත් කිරීමට උඅපකාරී වනු ඇත යන විශ්වාසය, වරාය අධිකාරියේ බලධරයන් සහ චීන විශ්ලේෂකයන් නම් තවමත් අත්හැර නැත. චයිනා මර්චන්ට් පෝර්ට් නියෝජිත සහ හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු ප්‍රධානි රෙයි රෙන් අවධාරණය කළේ "ලංකාවේ පිහිටීම ජාත්‍යන්තර වෙළෙඳාමට කදිම" බවයි. හම්බන්තොට වරාය සම්බන්ධව ඍණාත්මක අදහස් පළකළ ශක්‍යතා අධ්‍යයන වාර්තා සම්බන්ධයෙන් ඔහු පැවසුවේ, "ඒවා මීට වසර සෑහෙන ගණනකට පෙර හම්බන්තොට කුඩා ධීවර ගම්මානයක් ව පැවති කාලයේ කරන ලද ඒවා ය" යනුවෙනි.

"China Institutes of Contemporary International Relations" හෙවත් "කාලීන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ චීන ආයතන එකතුවේ" දකුණු ආසියාතික අංශයේ අධ්‍යක්ෂ හූ ශිෂෙන් පවසා සිටියේ ද, චීනය හම්බන්තොට වරායේ උපායමාර්ගික වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටින බව" ය. එහෙත් ඔහු ඊට මෙන්න මේ ටික ද එකතු කළේ ය: "චීනය සිය භූ-උපායමාර්ගික ශක්තිය විදහාපාන්න පටන්ගත් පසුව වරායේ උපායමාර්ගික වැදගත්කමක් නැතිවනු ඇති. ලොකු රටවල්වලට ලංකාවේ සටන් කළ නොහැකියි - එය අතුගෑවී යනු ඇති."

හම්බන්තොට වරාය 2010දී සීමිත මට්ටමින් විවෘත කළේ Belt and Road ව්‍යාපෘතිය නිවේදනය කිරීමට පෙර වුවත්, එය සිය ගෝලීය වැඩපිළිවෙළට ඈඳාගැනීමට චීනය මොහොතක් හෝ පමාවුණේ නැත. හම්බන්තොටදී පැවති උත්සවයෙන් ස්වල්ප වෙලාවකට පසුව චීන රජයේ ප්‍රවෘත්ති අංශය ට්විටර් මාධ්‍ය ජාලය ඔස්සේ ඉතා සාඩම්බරයෙන් නිවේදනය කළේ, "Belt and Road ගමන්මගේ තවත් එක මං සලකුණක්" යනුවෙනි.


(මතු සම්බන්ධයි.)

[චමිර ජීවන්ත දෙද්දුවගේ]

Latest Video

Powered by Blogger.