"කන්ඩම්කාරයන්" සහ ගෝත්‍රික අපි!


මරණ දඬුවම හිමි සිරකරුවන් සිරගෙදරදී හඳුන්වන්නේ "කන්ඩම්කාරයා" යනුවෙන්ය. පසුගියදා  (ජුලි 10) බුද්ධශාසන අමාත්‍යවරයා පළමු වරට දැනුම්දුන් පුවතින් සඳහන් වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා මරණ දඬුවම නියමවූවන්ට එය ක්‍රියාත්මක කරවීම සඳහා ජනාධිපතිවරයා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩලයම අත්පොළසන් දී අනුමත කළ බවය.

 ඒ ගැන වන අපගේ සිතීම වන්නේ රටේ සමස්ථ ජනතාවම  "කන්ඩම්කාරයන්" බවට පත්කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අත්පොළසන් දී අනුමත කර ඇති බවය.

 මේ කතාව පළමුව මාධ්‍ය හමුවේ පවසන්නේ බුද්ධශාසන අමාත්‍යවරයාය. අත්පොළසන් කතාව සමඟ ඔහු ඊට ලුණු ඇඹුල් එකතුකර ඇත්තේ එම තීරණයට අදාළ ජනතා ආකර්ෂණය දිනා ගන්නට විය යුතුය.

 විශේෂයෙන්ම බහුතරයක් ලෙස පෙනෙන්නට ඇති සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන්ගේ ආකර්ෂණය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් විය හැක. මන්ද අපරාධයක් කී සැනින් එය පාලනය කිරීමට හෝ නැති කිරීමට "මරණ දඬුවම" එක හඬින් ඉල්ලන්නේ මේ පිරිස වන නිසාය.

 අවාසනාවන්ත බුද්ධශාසන ඇමති !

 කෙසේවුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගනුලැබූ තීරණය සම්බන්ධව  උජාරුවෙන් කියන මේ අවාසනාවන්ත බුද්ධ ශාසන ඇමතිවරයා මරණ දඬුවම අත්හිටුවීමට අදාළව භුතාන අත්දැකීම නොදන්නවා විය යුතුය. සැබවින්ම මරණ දඬුවම අත්හිටුවීමට භූතානය තීරණය කළ එකම පදනම වුයේ එරට බෞද්ධ රටක් වීමය.

 "අපි යක්කු බොලව්" චින්තනය 

 මෙරට ස්වෝත්තමවාදී  උන්මාදය කොතරම් දුරදිග ගොස් ඇත්දැයි කියනවා නම් මේ වන විටත් එය බෞද්ධ දර්ශනයේ මූලික හරපද්ධතියෙන් මුළුමනින්ම ඉවත්ව ලංකාවටම ආවේනික බෞද්ධාගමක් නිර්මාණය කරගෙන ඇති ගානය. එනිසාම ගෞතම බුද්ධ දේශනාවේ ඝාතනය/මරණය සම්බන්ධ කාරනා ඔවුන්ට අදාළම නැත. ඔවුන්ට අදාළ ඔවුන් විසින් ඔවුන් උදෙසා ඔවුන්ගේම පහසුවට සහ වාසියට අර්ථකථනය කරගත් බුදුදහමය. ඉතින් ඒ බුදු දහමට අනුව නම් මරණ දඬුවම කැපය.

 සැබවින්ම මේ අපරාධ මර්දනය වෙනුවෙන් මරණ දඬුවම වැනි අන්තයකට වැටී ඇති පාර්ශවයේ විශ්වාසය වන්නේ  සමාජය තුළ වරදකාරී විභවයන් පාලනය කළ හැක්කේ අධික බියක්  ඇතිකරලීමෙන් බවය.

 එහිදී වරද කළ කෙනාටත් වඩා අනෙකෙක්  වැරදි කිරීම වලක්වන්න "දඬුවම" හරහා පරම බිය ගැන්වීමක් අවශ්‍ය බව මුලික වී ඇත.

 මෙතැනදී තමන් අධික බියක් ඇතිකරලීම සහ මනුස්සයෙකුට මරණ දඬුවම දීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කියන්නේ සමස්ථ සමාජයේ ඇති අසාර්ථක බව යන්න ගැන  ඔවුන්ට තැකීමක් නැත.  බුද්ධ ශාසන ඇමති අවාසනාවන්ත යැයි අප කියන්නේද ඒ පදනමින්ය.

 සැබවින්ම සමාජය යහපත් කිරීම වෙනුවෙන් වඩාත් දරුණු, සැහැසි දඬුවම්, එනම් මිනිස් ජීවිතයේ අවසානය ජීව විද්‍යාත්මකව සිදුවීමට ඉඩනොදී සමාජ ආයතන පද්ධතියක(පොලිසිය ,අධිකරණය, බන්ධනාගාරය, අළුගෝසුවා)  මැදිහත්වීමෙන් අවසන් කිරීම හැර විකල්පයක් නොමැති බව පෙනීම ධනාත්මක හෝ පෙරටුගාමී අදහසක් නොවේය.

 එය සමාජය යහපත් කිරීම සහ වඩාත් නිදහස් සාමකාමී සහජීවන සමාජයක් ගැන වන විශ්වාසයේ අවසානය කියාපාන්නකි. ඒ වෙනුවෙන් අවශ්‍ය ධෛර්යය අන්තිම බිංදුවට වැටී ඇති බව කියාපාන්නකි.

 ජනාධිපතිගේ ගැටඹේ ප්‍රකාශය

ජුලි 11 ජනාධිපතිවරයා මහනුවර ගැටඹේ සිදුකළ ප්‍රකාශය එය කදිමට ඔප්පු කරවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කර සිටින්නේ  මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව බන්ධනාගාරයේ රැඳී සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ ලියවිල්ලට තමන් අත්සන් කරන බවය.

 ඊට හේතු ලෙස ජනාධිපතිවරයා දක්වා සිටින්නේ  මෑතකදී වාර්තා වූ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට මරණ දඩුවම නියම වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයින් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබීම සහ   එම ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබා දීමෙන් තොරව මෙම තත්ත්වය පාලනය කල නොහැකි බවට පෙනීයාමය.

 දෙවරක් අසාර්ථකවීම

 පළමුව සමාජයක් වශයෙන් මරණ දඬුවම හැර විකල්පයක් නොමැතිව අසාර්ථක බව පෙන්වූ අප සමාජය ජනාධිපතිවරයාගේ මේ පැහැදිළි කිරීමට අනුව දෙවන වරටද ඒ අසාර්ථක බව පෙන්නුම් කරන්නේය. ඒ අපරාධ මර්ධනය කිරීමට සහ අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීමට ඇති බන්ධනාගාර පද්ධති අපරාධ සහ ජාවාරම්කරුවන්ගේ තිප්පොල බවට පත්ව තිබී ඇති බව ඔප්පු කිරීම තුළය.

 හරි පුදුම දොස්තරලා !

 ඒ කියන්නේ මේ වන විට අප අපරාධ වර්ධනයවීමට අදාළ සමාජ මූලයන් පාලනය කිරීමට වගේම අපරාධකරුවන් පුනරුත්ථාපනය කිරීම යන දෙයංශයෙන්ම අසාර්ථක වී ඇති බවය.

 එසේනම් සිදුකළයුතුව ඇත්තේ වසර 40ක් පැරණි මිලේච්ජ නීතියක් බලාත්මක කිරීමද ? නැතිනම් එක් පසෙකින් අපරාධ සඳහා බලපාන සමාජමය මූලයන් කරාම ගොස් ඒවා නිරාකරණය කරන දේශපාලන වැඩ සැලැස්මක් ක්‍රියාවට නගන අතර අනෙක් පසින් අපරාධ මර්ධනය සහ පුනරුත්ථාපන පද්ධතියේ දුර්වලතා සකස් කිරීමද?

 අප සිතීමට අනුව නම් වඩාත් ශිෂ්ට සම්පන්න ක්‍රියාමාර්ගය වන්නේ දෙවැන්නය. පළමු වැන්න ක්‍රියාවට නැගීම තුළ සිදුවන්නේ කිසියම් රෝගියෙකුගේ රෝග නිධානයට වෙනුවට රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කල විට රෝගියාට අත්වන ඉරණමය. සමාජයක් ලෙස අප සියලු දෙනා කන්ඩම්කාරයන් වීමට නියමිත බව කිව්වේ ඒකටය.

 මුළු ලෝකයටම වැරදිලාද ? 

 මෙහිදී වඩාත් අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ මේ වන විට කවර අපරාධයකට අදාළව හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ගෝලීය පිළිගැනීම කුමක්ද යන්න ගැනය. ඊට අදාළව පවතින ගෝලීය පිළිගැනීම වන්නේ  කෲර දඬුවම් හරහා බිය ගන්වන රටවලත් අපරාධවල අඩුවීමක් සිදුව නොමැති බවය.

 විශේෂයෙන් මෙහිදී මෙරට වෙළඳ සම්බන්ධතා ඇතුළු ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධව වැඩි බලපෑමක් සිදුකළ හැකි යුරෝපා සංගමයේ අදහසද පරීක්ෂාකර බැලීම වැදගත්ය.

 යුරෝපා සංගමය සහ GSP + අවධානම

 මරණීය දණ්ඩනය මෙලොවින් පිටුදැකීම සඳහා ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කරන ගෝලීය එකතුවක් ලෙස හැඳින්විය හැකි තරමට යුරෝපා සංගමය හැඳින්වූවාට වැරදි නැත. එසේම මරණීය දණ්ඩනය පිළිබඳ එහි පොදු පිළිගැනීම අනුව නම් එය  මිනිසත් බව පහතට ඇද දමන අමානුෂික හා අනවශ්‍ය ක්‍රියාවක් බව යන්නය. තවද  අපරාධ මැඩලීමේදී වෙනත් දඬුවම් වලට වඩා මරණීය දණ්ඩනය වඩාත් ඵලදායී බව කිසිඳු විද්‍යාත්මක සාධක ඉදිරිපත් වී නැති බවත් කෙතරම් උසස් මට්ටමේ පවතින අධිකරණ ක්‍රියාදාමයක් තිබුණද, නීතිය අනිසි අයුරින් ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතින බවත්, එමගින් රජයේ නිලධාරීන් අතින් අහිංසක පුද්ගලයෙකු හිතාමතම ඝාතනයට ලක්කිරීමක් සිදුවිය හැකි බවද යුරෝපා සංගමය සඳහන් කර ඇත.

 ඒ නිසාම යුරෝපා GSP + සහනය දීමේ සිට තවත් බොහෝ ආර්ථික හා වෙළඳ, දේශපාලන සම්බන්ධතා වලදී මරණ දඬුවම පිටුදැකීම සඳහා වන පාර්ශවීය එකඟතා ඇති කරගන්නට ඔවුන් කටයුතු කරයි. එසේම අප අමතක නොකළ යුතු කරුණක් වන්නේ GSP + සහනය ලබා ගැනීම සඳහා  මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නීතිරිති පැවතුනද එය ක්‍රියාත්මක නොකරන බවට මෙරට බලධාරීන් අවධාරණය කර ඇති බවය.

 ඒ අනුව දුරදිග සිතා බැලීමකින් තොරව මරණ දණ්ඩනය පැනවීමට ගියහොත් නැවත වරක් GSP + සහනය සම්බන්ධව අසහනයකින් පසුවීමට අප රටට සිදුවීමේ අවධානමක්ද මෙහි පවතී.

 ජාත්‍යන්තර සංවිධාන සහ ඉල්ලන් කන්න යන ලංකාව 

 එසේම  ඇම්නස්ටි ජාත්‍යන්තරයද මරණ දඬුවමට එරෙහි වන්නේ මීට සමාන පදනමක සිටිමින්ය. ඒ  මරණ දඬුවම ක්‍රියාත්මක කළ පසු යළි වෙනස් කළ නොහැකිවීම සහ   වරදකරුවකු නොවන පුද්ගලයකුට මරණ දණ්ඩනය ලබා දීමට ඇති ඉඩකඩ ශූන්‍ය නොවන බවට වන පදනමින්ය.

තවද බන්ධනාගාරගත කිරීම හා සැසඳීමේදී මරණ දඬුවම ලබා දීම හරහා සමාජයට බලපෑමක් සිදුවන බවට සාක්ෂි කිසිවක් නොමැති බව මානව හිමිකම් සංවිධාන වලද අදහස වන අතර ඒ බව ඔවුන් අවස්ථා ගණනකදීම පෙන්වා දී ඇත.

 ඒ පසුබිමේ ජාත්‍යන්තර යුධ අපරාධ ඇතුළු දරුණු ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව අපකීර්තිමත් රටක් වන අප දෙවරක් නොසිතා මරණ දඬුවම ක්‍රියාවට නැගීමට යාම තුළ ජාත්‍යන්තර සංවිධාන හමුවේද අනවශ්‍ය අවධානමක් ගැනීමට සූදානමක් ලෙසද එය තේරුම් ගත්තාද වැරදි නැත.

සියල්ලට වඩා මේ කළාපයේ මරණ දඬුවම අධෛර්යමත් කිරීමට කැපවුන රටක් ලෙස අප ලබා සිටි ජාත්‍යන්තර පිළිගැනීමද වසර 40 කට පමණ පසුව බලගන්වන්න යන මේ නීතිය නිසා නැතිවී යන තත්ත්වය ගැනද සිතිය යුතුව ඇත.

 මරණ දඬුවම

 සාමාන්‍යයෙන් අපරාධයක අදාළ දඬුවමක පොදු අපේක්ෂා කිහිපයක් ඇත. ඒ  පලිගැනීමක් , භය ගැන්වීමක්,  චරිත ශෝධනයක්, සමාජ ඒකාබද්ධතාව ආරක්ෂා කරන්නක් වශයෙන් ය. ඒ තුළ මරණ දඬුවම යන්න හඳුනාගන්න සිදුවන්නේ පරම දඬුවමක් ලෙසය. එහෙත් නුතන පිළිගැනීම වී ඇත්තේ  මරණ දඬුවම තුළ මානව හිමිකම් මූලධර්මවලට සහ වටිනාකම්වලට ගැලපෙන මානුෂීය සමාජයක් බිහිකිරීමේ හැකියාව ඊට නැති බවය. එවක විදේශ අමාත්‍ය ධුරය දැරූ මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා හි රැස්වූ අවස්ථාවේදී පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවේ මරණ දඬුවම තහනම් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බව සඳහන් කළේද ඒ අනුව විය යුතුය. විශේෂයෙන් ජාත්‍යන්තරව පිළිගත්  මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලංකාවේ ඇති කැපවීම ප්‍රදර්ශනය කරන්නට විය යුතුය.

ඒ අනුව හරි නම් අප සිදුකළ යුතුව ඇත්තේ නීති පොතින්ද මරණ දඬුවම ඉවත් කිරීම මිස එය යළිත් බලාත්මක කිරීම නොවේය. සියල්ලට වඩා අවධානම් සහගත කටයුත්ත වන්නේ අද මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්න කියා ක්‍රියාත්මක කරන මරණ දඬුවම හෙට තවත් අංශ කෙරෙහි ව්‍යාප්ත විය හැකි අවසානයේ දේශපාලන විරුද්ධවාදීන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් දක්වා ව්‍යාප්ත වීමට ඉඩක් පැවතීමය.

පසුගිය රාජපක්ෂ පාලනය වැන්නක් නැවත පැමිණියහොත් එවැනි පසුබිමක් නිර්මාණය වීමේ අවධානම බැහැර කළ නොහැක්කේ දැනටමත් වියත් මග වැනි සංවිධාන වල සිටින විශ්‍රාමික හමුදා ජනරාල්වරුන් ඒ ගැන ප්‍රසිද්ධියේ පවසා ඇති නිසාය.

ජනතාවාදී පාලනය යනු ජනතාව පසුපස යන දේශපාලනයද ?

ඒ අනුව අප රට ජාත්‍යන්තර අවබෝධයට හාත්පසින් වෙනස් ගමනක් යාමට සූදානම් වන බව පැහැදිළිය. එය නොදැන කරන්නක් විය නොහැකිය. මෙය සිදුවන්නේ මෙරට සාර්ව දේශපාලන තන්ත්‍රය  ජන විඥානයේ පවතින පසුගාමී අදහස්  තමන්ගේ දේශපාලනයේ ජනප‍්‍රියත්වය සඳහා යොදා ගැනීමකි. ඒ අනුව මේ තීරණ පසුපස වන්නේ හුදී ජන පහන් සංවේගය සඳහාම නොව  අනාගතයේ ලැබෙන  ඡන්දය බලාගෙනය. ලංකාවේ දේශපාලනය ජනතාවට  ඉදිරියෙන් සිටින්නේ දේශපාලන බලය අතින් පමණක් වන අතර අදහස් අතින් ඔවුන් ජනතාවට පසුපසින් සිටින බව තහවුරු කිරීමටද මෙය නිදර්ශනයක් වෙයි.

 [සංජය ලියනගේ]

Info Sri Lanka TV

Powered by Blogger.