අනුරාධපුරයට නව සංවර්ධන ව්‍යාපෘති රැසක්.



අනුරාධපුරයට නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ  අනුරාධපුර උපායමාර්ගික සංවර්ධන සැලසුම පිළිගැනීම සහ ඊට සමගාමීව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, විද්වතුන් සහ ව්‍යාපාරිකයින් සමඟ එම සැලසුම පිළිබඳව සාකච්ජා කෙරෙන MEGA MINDS වැඩසටහනට සහභාගී වෙමිනි. 

එහිදී සැලසුම පිළිබඳව ඔවුන්ගේ අදහස් ලබාගැනීම ද සිදු වූ අතර එය පසුගියදා(19) අනුරාධපුර ගෝල්ඩන් මැංගෝ රිසෝට් හෝටලයේදී පැවැත්වුණි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අනුරාධපුරය ඉතාම විශිෂ්ඨ නගරයක්. ඉන්දියාවේ උදේනි නගරයෙන් පසුව තිබෙන පුරාවිද්‍යාත්මකව තිබෙන එකම ඉපැරණි නගරය අනුරාධපුරයයි. ඒ වගේම අනුරාධපුරය අපි ගමක් හැටියට නෙමෙයි පැරණි නාගරික වටපිටාවක් හැටියට අතිශයින්ම වැදගත් නගරයක්. අපේ රටට පමණක් නෙමෙයි ලෝකයටත්. ඒ වගේම අනුරාධපුර අපි හැමෝම හඳුනාගෙන තිබෙන්නේ වැවයි දාගැබයි, ගමයි - පන්සලයි ලෙස කෘෂිකාර්මාන්තය මුල්කර ගෙනයි. මුළු ඉතිහාසය පුරාම අනුරාධපුරය, එක් පැත්කින් මාන්තොට මන්නාරමින්, අනෙක් පැත්තෙන් ගෝකන්න ති‍්‍රකුණාමලයෙන් යැපිච්ච ප‍්‍රබල වාණිජ මධ්‍යස්ථානයක්. ඒක හුඟ දෙනෙක් අමතක කළාට එය තමයි බලගතු ඇත්ත අනුරාධපුරය සම්බන්ධයෙන්.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සුඛිත පුරවර වැඩසටහන යටතේ අනුරාධපුර නගරයේ පහසුකම් ගොඩනැංග්වීම සඳහා දැනටමත් ප‍්‍රධාන පොළ, කූඹිච්චන්කුලම වැව ආශ‍්‍රිත ප‍්‍රදේශය සහ තවත් සංවර්ධන යෝජනා ක‍්‍රම ගණනාවක් කරගෙන යනවා. ඒ අතරේ අපි උපාය මාර්ගික නගර සංවර්ධන වැඩසටහන යටතේ නාගරික සංවර්ධනය යටතේ තිබෙන ප‍්‍රධාන කරුණු කිහිපයකට පිළිතුරු දෙන්න යනවා. එකක් තමයි අපජලය ඉවත් කර අනුරාධපුරයේ තිබෙන ගංවතුර තත්වයට කිසියම් පිළියමක් ලබාදෙන්න. අනෙක් පැත්තෙන් ප‍්‍රවාහන ප‍්‍රශ්නය විසඳීම සඳහා මැදිහත් වෙන්න. තෙවනුව ශුද්ධ පූජා නගරය ඇතුළු ප‍්‍රදේශයේ විධිමත් නාගරික පහසුකම් වන්දනා කරුවන්ට හා සංචාරකයින්ට සහ ප‍්‍රදේශවාසීන්ට ඇතිකිරීම. ඒ සඳහා අපේ සියළුම ආයතන ශුද්ධ නගර සංවර්ධන කමිටුවත්, නායක ස්වාමීන් වහන්සේලාත්, අන්‍යාගමික පියතුමන්ලත්, ප‍්‍රජාවගේත් සහයෝගයෙන් දියත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.



ඒ වගේම අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ අනුරාධපුරය 4 වන සියවසේ ආරම්භ උනා කියලා. නමුත් අනුරාධපුර ඇතුළු නගරයේ කැණීම් කටයුතුවලින් පෙනී ගොස් තිබෙනවා අනුරාධපුරයට අවුරුදු 3000 ටත් එපිට ගිය ශිෂ්ඨාචාරයක් පැවතිච්ච බව. ඒ වගේම ඒ කාලයේ ඉඳන්ම අපේ මේ බස අපි මුල්යුගයේ ඉඳන්ම පවත්වාගෙන ආපු පිරිසක් බව. විශේෂයෙන්ම අනුරාධපුරයේ මුල් අකුරත් ‘අ’යන්න. හමුවූ පැරණි වලංකැබැල්ලේ වසර 3000 කට කලින් සටහන් වී තිබූ අකුරත් ‘අ’යන්න. එය ලෝක ඉතිහාසයේ කිසිම රටක අඛණ්ඩව වසර 3000ක් එක් භාෂාවක් කතා කරලා නැහැ. එය අපේ ජාතියට තිබෙන සුවිශේෂී ලකුණක්. ඒ වගේම මෑත ඉතිහාසයේත් අනුරාධුපරයේ විශේෂත්වයක් තිබෙනවා. මේ ලෝකයේ යම් යම් නගර පදනම් කරගෙන ශිෂ්ඨාචාර බිහිවී තිබෙනවා. ඇතැන්ස් නගරය, ස්පාටා නගරය, රෝම නගරය, පැරීසිය මේ යනාදි වශයෙන්. නමුත් වසර 1400 ක් යම් නගරයක් මුල්කරගෙන රටක් පැවැතිලා නැහැ ලෝක ඉතිහාසයේ කොහේවත්. ඒ එකම නගරය මේ අනුරාධපුර නගරය. එමගින් පෙනී යනවා මේ අනුරාධපුර නගරයේ නාගරික නිර්මාණය අතිශයින්ම තිරසර, අප මේ වර්තමානයේ කරන තිරසාරත්වයත් සමග එකට ගොඩනැගිච්ච දියුණු ශිෂ්ඨාචාරයක් හැටියට. අපි අනාගත නගර නිර්මාණය කිරීමේදී ඒ දියුණු ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙනගත යුතුයි.

ඒ වගේම අපි හැමෝම දන්නවා පැරණි ලෝකයේ ඉතාම ප‍්‍රබල රටක් තමයි චීනය. චීනය ගැන ඉතාම විශිෂ්ඨ කෘතියක් ලිව්වා චීනයේ තාක්ෂණික දියුණුවත් ඒ වගේම චීනයේ විද්‍යාත්මක දියුණුවත් ගැන ජෝෂප් මෙන්ඞ්හැම් කෘතියක් ලිව්වා. එම කෘතියේ චීනය විසින් කරන ලද මහා නිර්මාණ වගේම සුළු නිර්මාණ දහස් ගණනක් පැහැදිලි කර තිබෙනවා. අභ්‍යවකාශයට පවා පෙනෙන මහා නිර්මාණයක් වන කවුරුත් දන්න චීන මහා ප‍්‍රාකාරය. ඒ වගේම චීනයේ තවත් අතිවිශාල නිර්මාණයක් තිබෙනවා. එය තමයි ගේ‍්‍රඩ් කැනල් නමින් හඳුන්වන සැතපුම්1200 කත් වඩා දිග මිනිසා විසින් නිර්මාණය කරන ලද ඇළ මාර්ගය. එය නයිල් ගඟටත් වඩා විශාලයි. එය මිනිසා විසින් නිර්මාණය කරන ලද විශාලතම ඇල මාර්ගය. ඒ වගේම මධ්‍ය ආසියානු කොටසේ චීනය විසින් තවත් නිර්මාණය කර තිබෙනවා අපි මේ ගොඩබිම වැව් හැදුවා වගේ වාෂ්ප වීම වැලැක්වීම සඳහා පොළව අභ්‍යන්තරයේ දැවැන්ත ජලාශ ඉදිකර තිබෙනවා.  මේ නිර්මාණ තුන අදටත් ඉංජිනේරු විද්‍යාවේ ඉතාම විශිෂ්ඨ ගනයේ මහා නිර්මාණ හැටියටයි හඳුන්වන්නේ.

ඒ වගේම අපි කවුරුත් දන්න වෙඩි බෙහෙත්, මුද්‍රණ ශිල්පය, මාලිමාව, මේ වගේ විශාල නිර්මාණ ගණනාවක් චීනයෙන් බිහි වී තිබෙනවා. මේ සියල්ල ජෝෂප් මෙන්ඩ්හැම් විස්තර කර තිබෙනවා චීනය එක දෙයකට ශ‍්‍රී ලංකාවට පරාජය වී තිබෙනවා. එය තමයි වැව. මේ වැව හා වැව වටා ගොඩනැගිච්ච පරිසරය, වාරි, කෘෂි පද්ධති මේ අපේ රටටම අනන්‍ය වූ සුවිශේෂී දෙයක්. අපි මේක කාගෙන්වත් ණයට ගත්ත දෙයක් නෙමෙයි ඒ වගේම ලෝකයේ වෙනත් තැන්වල මෙය සිදු කරලාත් නැහැ. ඒ නිසා මේ ගැන අපට ආඩම්බර විය හැකියි. මහ නිර්මාණ නොවුණට අපටම ආවේණික ජල කර්මාන්තයේ ගැටළුවට අපිටම ආවේණික පිළිතුරු සපයා ගත් පිරිසක් හැටියට අපි ආඩම්බර විය යුතුයි. නියඟය හා ජල ගැලීම්වලින් තදින්ම බැටකන රටක් බවට අපේ රට පත්වී තිබෙන නිසා. බස්නාහිර පළාතේ ජීවත්වන අයට ජලය ප‍්‍රශ්නයක් නැහැ. මොකද ගංවතුර හා ණාය යෑම් නිසා. වියළි කලාපයේ අයට ජලය ප‍්‍රශ්නයක්,හිටිහැටියේ එන ගංවතුරත්, දිගු කාලීන නියඟයත් නිසා. ඒ නිසා මේ ගැටළුවට ඓතිහාසිකව ශ්‍රේෂ්ඨ විසඳුමක් ලබාදුන් ජාතියක් අද මේ ආකාරයට පත්විය යුතු නැහැ. අපි අපේ අතීතයෙන් නිසි පාඩම් ඉගෙන ගන්නවා නම්, ඒ වගේම අපි මේ කි‍්‍රයාදාමයට ඇතුලත්වීමේදී කිසියම් දැක්මක් දර්ශනයක් ඇතිව තමයි රටේ ජාතික භෞතික සැලැස්ම අතිකර තිබෙන්නේ යැයි පැවසීය. 

Latest Video

Powered by Blogger.