Ad

පොලිස්පති ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.



කිලිනොච්චිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා ඊයේ (06) නීතීඥයකුගේ මාර්ගයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

ඒ වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන ලෙස පොලිස්පතිවරයාට ජාතික පොලිස් කොමිසම විසින් නිර්දේශ කර තිබියදීත් ඔහු එම නිර්දේශය නොසලකා හැර එම උසස්වීම ලබා නොදී දූෂණයක් සිදුකළේ යැයි කියමිනි.

මෙවැනි පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පොලිස්පතිවරයකුට එරෙහිව ලැබී ඇත්තේ පොලිස් ඉතිහාසයේ පළමුවරට බවද මේ අතර වාර්තා වේ.

පොලිස්පතිවරයා රජයේ නිලධාරියෙක් වශයෙන් නීත්‍යානුකූලව කළයුතු ක්‍රියාවක් සිදු කිරීම පැහැර හරිමින් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය ප්‍රකාරව දූෂණයක් සිදුකර තිබෙන බව සඳහන් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මාධ්‍ය වෙත හෙළිකර තිබේ.

පෞද්ගලික අමනාපකම් මත නීති විරෝධී ලෙස හා අයුතු සහගත ලෙස මෙම උසස්වීම ලබාදීමෙන් වැළකී සිටින බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ යැයි කොමිසමේ ආරංචි මාර්ග කියයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිවර්ධන මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ නීතිඥ අශෝක වීරසූරිය මහතා මගිනි.

පාලිත සිරිවර්ධන මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පස් දෙනකු වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පසුගිය මාර්තු මාසයේ පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබිණි.

සෙසු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 04 දෙනාට පමණක් වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස් කරනු ලැබුවත් සිරිවර්ධන මහතා එම නිලයට උසස් කර නොතිබිණි යැයි පොලිස් මූලස්ථානය කියයි.



Powered by Blogger.