Ad

කොළඹ මහනගරය හැදෙන හැටි අගමැති කියයි.



ගෝලීය වටිනාකම් දාමයන් සමග සහ සම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යැයි සිංගප්පූරුවේ දී ඊයේ (09 වන දා) ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවන්හි ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අද ලෝකය ලබා ඇති තාක්‍ෂණ දියුණුව ඔස්සේ ගොඩනැංවී ඇති නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතාවන්, මානුෂීය සුරක්‍ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්‍ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීමට කාලය එළැඹ ඇති බව ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

සිංගප්පූරුවේ සෑන්ඩ්ස් එක්ස්පෝ හා සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ දී රටවල් 135 ක පමණ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව ආරම්භ කෙරුණු අතර, සිංගප්පූරුවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ගරු තර්මන් ෂන්මුගරත්නම් (HE Tharman Shanmugaratnam), අන්ද්‍රප්‍රදේශ ප්‍රධාන අමාත්‍ය චන්ද්‍රබාබු නායිඳු (HE Chandrababu Naidu), සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ (Prof. Tommy Koh) ඇතුළු සම්භාවනීයයන් රැසක් සහභාගී වූහ.

සමුළු නියෝජිතයන් පිළිගනිම්න් සිංගප්පූරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂන්මුගරත්නම් මහතා පැවසූයේ නගර නිර්මාණය සම්බන්ධයෙන් ලොව පුරා විවිධ ගැටළු මෙන්ම විසඳුම් ද මතුවී ඇති බවයි. මේ විසඳුම් ලොව පුරා බෙදා හදා ගැනීමට කටයුතු කළ යුතු බව ද, අප එකිනෙකා, අනෙක් හැමදෙනාගෙන් පාඩම් උගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ පැවසූයේ එක්වර සමුළු තුනක් සමගාමීව සංවිධානය කළේ නගරය, ජලය හා පරිසරය පිළිබඳව පමණක් නොව මිනිස් සම්පත පිළිබඳව ද වැඩි අවධානයක් යොමු කරලීම සඳහා බවය. ශ්‍රී ලංකාවේ පරිණත හා නිපුණ දේශපාලනඥයා සේ සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා මේ සමුළු ත්‍රිත්වයෙහිම මුඛ්‍ය දේශනය සඳහා සහභාගී කරවා ගැනීමට හැකි වීම සතුටක් බව ද ඔහු ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශනයෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර වැඩසටහනක් ද සංවිධානය කර තිබූණි. එය සමුළු සභාපති මහාචාර්ය ටොමී කෝ මහතා විසින් මෙහෙය වූ අතර එහිදී ඉදිරිපත් කළ ප්‍රශ්න සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබාදෙනු ලැබීය.

“අනාගත ජනජීවී හා තිරසර නගර – මානව ක්‍රියාකාරකම් තුළින් මතුවන අභියෝග” මැයෙන් ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වැනි ජගත් පුරවර සමුළුවට අප ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ආරාධනා කිරීම සම්බන්ධයෙන් සිංගප්පූරු රජයටත්, ජනජීවී නගර පිළිබඳ මධ්‍යස්ථානය, ජලය පිළිබඳ ජාතික නියෝජිත ආයතනය හා ජාතික පරිසර නියෝජිත ආයතනයටත් මා ස්තුතිය පිරිනමනවා.

මා මේ සමුළුවට සහභාගී වන විට, පළමුව මාගේ සිහියට නැගෙන්නේ 1965 දී පමණ මා පාසැල් යන අවදියේ ඡායාරූප හා වාර්තා චිත්‍රපට ඔස්සේ දුටු සිංගප්පූරුවයි. එය, විරැකියාවෙන් මෙන්ම දරිද්‍රතාවයෙන් පෙළුණු ජනතාවගෙන් තදබද වුණු මුඩුක්කු ගෙවල් ගොන්නක් මැද, යටත් විජිත පාලකයන් ඉදිකළ දැවැන්ත ගොඩනැගිලි කිහිපයක් නැගී සිටි තවත් එක් ආසියානු නගරයක් පමණයි. ඊට 50 වසරකට පසු අද දිස්වන සිංගප්පූරුව මර්සර් වාර්තාවන්ට අනුව ආසියාවේ ඉහළම ජීවන තත්වය ඇති නගරයයි. මේ ගුණාත්මක බව ඔවුන්ට ඉබේ ලැබුණු එකක් නොවන බව අපි කවුරුත් දන්නවා. ලී ක්වාන් යු අග්‍රාමාත්‍යවරයාගේ දුරදැක්ම හා අධිෂ්ඨානය හේතුවෙන් සිංගප්පූරුව උසස් සුහුරු, ආරක්‍ෂිත හා ජනජීවී නගරයක් බවට පත්වුණා. දිවා කල වේවා රෑ කල වේවා කාන්තාවකට කිසිදු උපද්‍රවයකින් තොරව මහ මග බැස යන්නට හැකි පරිසරය සිංගප්පූරුවේ ගුණාත්මක භාවයට කදිම උදාහරණයක්. මැනවින් කළමනාකරණය කරන ලද නාගරිකයක් ගොඩනැංවීම පිළිබඳව සිංගප්පූරුව හොඳ පූර්වාදර්ශයක්. මේ ද්වි වාර්ෂික සමුළුවට නායකත්වය ලබා දීම ඔබ ලබා ගත් ජයග්‍රහණයට සාක්‍ෂි සපයනවා. අපි අද ජීවත්වන්නේ මානව ක්‍රියාකාරකම් මත හැඩගැසුණු යුගයක.

එවැනි දැවැන්ත බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකමක් වන්නේ ග්‍රාමීය ජනතාව විශල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමයි. ඒ නිසා නගරීකරණය සඳහා මානව ක්‍රියාකාරීත්වය මූළික පදනමක් වෙනවා. 2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, ලෝක ජනගහණයෙන් 54.7% ක් එනම් බිලියන 4.1 ක ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනවා. මෙය මෙසේ සිදුවූයේ නාගරීකරණය, ආර්ථික වර්ධනය වේගවත් කරන උත්ප්‍රේරකයක් වීම නිසයි. නාගරීකරණය හේතුකොට ගෙන ජනතාව හා ව්‍යවසායයන් එකට එකතු වී කාර්මීකරණයේ හා නවීකරණයේ කේන්ද්‍ර බවට නගර පත්වුණා. සේවකයින් සහ කර්මාන්ත එකට එක්වීමත් සමග බහුල වූ රැකියා අවස්ථා නිසා එම සමාගම්වල ඵලදායිතාව ඉහළ යාමෙන් ඔවුන්ට ආර්ථික ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වුණා. මහා පුරවර තවත් ඉදිරියට ගියේ සේවකයන් හා ව්‍යාපාර සුසංයෝගයෙන් ගෝලීය වෙළඳපොල හා සම්බන්ධ විය හැකි ඉහළ ඵලදායකත්වයක් සහිත කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වූ නිසයි. මේ නගර ධනය ඉපයීම් කේන්ද්‍රස්ථාන බවට පත්වූ අතර, සිය ග්‍රාමීය පෙදෙස්වල දී හිමිව තිබූ දියුණුවීමේ ඉඩ ප්‍රස්ථා සොයමින් බොහෝ ජනතාව නගර වෙත ඇදී එන්නට පටන් ගත්තා.

නගරවලට ජනතාව ඇදී ඒම මොනතරම් සීග්‍රයෙන් සිදුවුණා ද කියනවා නම් එහි ප්‍රතිඵලයක් ලෙස, දකුණු සහ ගිණිකොණදිග ආසියාව ආශ්‍රිත නගර සැලසුම් රහිතව අයාලේ ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මෙහි අනිසි ප්‍රතිඵල ලෙස නගරයන්හි අවහිරතා සහ තදබදවීම් ඇති වුණා. වැඩි වන ජනගහණයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් ඉඩම්, මූලික සේවාවන්, නිවාස, පරිසර අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් වුණා. මේ නිසා බහුතරයක් එකම ස්ථානයකට ඒකරාශී වීමේ වාසි සහ ප්‍රතිලාභ එක් අතකින් ලැබෙද්දී, මේ නව අභියෝගයන් හමුවේ නාගරිකයන්ගේ ජීවන තත්ත්වය පහළ වැටුණා. සනීපාරක්‍ෂාව, ප්‍රවාහනය හා සුදුසු නිවාස ලබා ගැනීමේ අවකාශ ඇහිරුණා. අපිරිසිදු වාතය ආඝ්‍රහණය කරමින්, දූෂිත ජලය පානය කරමින් ජීවත්වීමට ජනතාවට සිදු වුණා. මේ ඌණතා හේතු කොටගෙන ඔවුන් ස්වභාවික ව්‍යසන, කාලගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් වසංගතවලට ගොදුරු වීමෙන් ජීවිත අවදානමකට මුහුණ
දුන්නා.

ආසියාවේ බහුනගර පොකුරු නිර්මාණයේ දී මේ අවස්ථාවන් හා අභියෝගයන් අවධානයට ලක්වී තියෙනවා. බෙයිජිං - ටියැන්ජිං - ජින්හුවංදාඕ නගර කලාපයේ ජනගහනය මිලියන 100 කට අධිකයි. අනාගතයේ බෙයිජිං සිට බැංකොක්, ජකර්තා හරහා මුම්බායි දක්වා නගර කේන්ද්‍ර පොකුරක් අපට දකින්නට ලැබේවි. ලෝකයේ, විශේෂයෙන්ම ආසියානු රටවල නගර නිර්මාණ මූලිකයන්ට මෙය අපූරු පාඩමක්. ආසියානු නගර දියුණු වෙමින් පැවතුණත්, මර්සර් සමීක්ෂණයේ ජීවන තත්වය ඉහළ නගර 50 අතරට ගැනෙන්නේ ආසියානු නගර තුනක් පමණයි. සිංගප්පූරුව, තෝකියෝව සහ කෝබේ නගරය. දකුණු ආසියානු නගර අතර කොළඹ ඉහළින්ම සිටියත්, නගර 231 ක් අතුරින් අපට ලැබී ඇත්තේ 137 වැනි ස්ථානයයි. ආසියානු නගර 50 ක් පමණ තියෙන්නේ දර්ශකයේ පහළම නගර 50 අතරේයි.

සිය ජාතික ආර්ථිකය ගෝලීය අගය හා සැපයුම් ජාලයන් සමග සම්බන්ධ කිරීමෙහි ලා, ආසියානු නගර කේන්ද්‍රයන් පෙරමුණ ගෙන තිබෙනවා. ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේ මූලික සාධකය වන්නේ නාගරික ප්‍රදේශයන්හි ඇති දැවැන්ත යටිතල පහසුකම් ජාලයයි. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන ඉලක්කය වන්නේ ඉන්දීය සාගර මධ්‍යයෙහි අපේ රටෙහි පිහිටීමේ වාසිය පදනම් කර ගනිමින් කලාපීය වශයෙන් වැඩි ආර්ථික වර්ධනයක් ලබා ගැනීමයි. 2050 වන විට බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය සාගර වෙරළාසන්න රටවල ජනගහනය බිලියන 2.9 ක් බවට පත් වෙනවා.

අපගේ ප්‍රයත්නයේ වැදගත් අංගයක් වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9 ක ජනගහණයක් පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩ කර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක් ද නිර්මාණය කෙරෙනවා.

කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර යන නගර, බස්නාහිර පළාතේ නාගරික ප්‍රදේශ එකිනෙකට සම්බන්ධ කෙරෙන මහනගරයක් වශයෙන් සංවර්ධනය කෙරෙනවා. මෙම ක්‍රියාවලියට පොළෝ මට්ටමට ඉහළින් දිවෙන සැහැල්ලූ දුම්රිය සේවයක් හා මාර්ග පද්ධතියක්, බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක්, පැරණි වාරිමාර්ග සංවර්ධනය මෙන්ම දියරමය ස්වභාවික ගෑස් පිරිපහදු 3 ක් ඉදිකිරීම ද ඇතුළත් වෙනවා. සැපයුම් සේවා නගරය, වනාන්තර නගරය සහ ගුවන් සේවා නගරය මීට ඇතුළත්.

මළාපවාහන හා ඝණ අපද්‍රව්‍ය බැහැර කරලීමේ ව්‍යාපෘති, පාරිසරික කලාප, ගංගා ද්‍රෝණි සංවර්ධනය ඔස්සේ උපරිම ජනජීවී පසුබිමක් ඇති කරලීම අපේ අරමුණයි. සුබානා ජුරොං ආයතනය හා මහනගර අමාත්‍යංශය දැන් සැලසුම් ක්‍රියාත්මක කරලීමේ මූලික අදියරට පැමිණ තියෙනවා. ඒ වාගේම නාගරික කලාප දෙකක් පුළුල් කරනවා. එකක් මහනුවර දක්වා දිවෙන කිලෝමීටර් 134 දිගින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයයි. ගාල්ල හරහා හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල වෙත සම්බන්ධ වෙන කිලෝමීටර 241 ක දිගින් යුතු දක්‍ෂිණ අධිවේගී මාර්ගයයි. දක්‍ෂිණ අධිවේගී මාර්ග කලාපයේ විශාල පරිසර හිතකාමී සංචාරක නිකේතන තුනක් ඉදි වෙන්නේ ගාලූ කොටුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට අමතරවයි. හම්බන්තොට සංවර්ධනය සුබානා ජුරොං ආයතනය සැලසුම් කරනවා.

නගර සහ මහපුරවර පුද්ගලික අංශයේ මූලිකත්වය ගත් ධන සම්පත් නිර්මාණය කරලීමේ පසුබිමක් සේ සැලකුණත්, මේ ආර්ථික ක්‍රියාදාමය බොහෝ අවස්ථාවලදී කාන්තා, වැඩිහිටි, ළමා, තරුණ හා විශේෂ අවශ්‍යතා සහිත යන සමාජ කොටස් වල අදහස් හා ඕනෑ එපාකම් වලින් තොරව සැකසී තියෙනවා. මේ සියළු සමාජ කොටස් අන්තර්ග්‍රහණය කර ගැනීම උදෙසා අප අපගේ නිවාස ප්‍රතිපත්තිය අංශ තුනක් පදනම් කරගෙන නිර්මාණය කර තියෙනවා. ප්‍රතිසංවර්ධනය, ප්‍රතිස්ථානගත කිරීම හා ස්ථාපනය. නිසි අයුරින් භාවිත කර නැති නාගරික ඉඩම් උසස් මට්ටමේ නිවාස, වාණිජ හා සේවා අවශ්‍යතා සඳහා ප්‍රජා සහභාගීත්වය ඔස්සේ සංවර්ධනය කිරීම ප්‍රතිසංවර්ධනය යටතේ සිදු කෙරෙනවා. ප්‍රතිස්ථානගත කිරීම යටතේ නුසුදුසු මට්ටමේ ඉඩම්වල වෙසෙන ජනතාවට සුදුසු ස්ථාන ලබාදීමත්, අවශ්‍ය ස්ථානයටන්ට යටිතල පහසුකම් ලබා දීමත් සිදු කෙරෙනවා. අවසාන අංශය වන්නේ ‘අඩු පහසුකම් සහිත පදිංචි කිරීම්’ ලෙස තවමත් හැදින්වෙන එනමුත් ආරක්‍ෂාව, සේවාවන් සහ වාසස්ථානයට සුදුසු නිවාස ආදියෙන් උසස් තත්ත්වයට සංවර්ධනය කළ කොළඹ නගරයේ පදිංචි කිරීම් සමාජයීය හා නෛතික වශයෙන් පිළිගැනීමට ලක් කිරීමයි. අපේ නගරයන්ට හුදෙකලාව ඉදිරියට යා නොහැකියි. පාරිසරික පද්ධතියන්හි දායකත්වය ලබා ගත හැකි ප්‍රදේශ ඒ ඒ නගරයන් සතු විය යුතුයි. ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සලකා බැලීමේ දී වඩාත් වැදගත් සාධකයක් වන්නේ ජලයයි. අතීත රාජධානීන්ට එල්ල වූ අභියෝගය නම් මෝසම් වර්ෂාවෙන් ලැබෙන මහා ජල කඳ කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්නයි. එම ජලය කෘතිම පොකුණු හා මිනිස් ශ්‍රමයෙන් නිර්මාණිත ජලාශවල රැස්කරගනු ලැබුවේ ඔවුන්ගේ පානීය හා කෘෂි අවශ්‍යතා සඳහායි.

මේ වාරි පද්ධතිය අදත් ප්‍රයෝජනයට ගත හැකියි. පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වී තියෙනවා. ස්වාභාවික ආපදා තත්වයන් ඉහළ යමින් තියෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහණ, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්වය තව තවත් වර්ධනය වී තියෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි. නිරන්තර ගං වතුර හා නායයෑම් නිසා ජීවිත, ආදායම් මාර්ග හා නිවාස දේපල විනාශ වෙනවා. ජලය සතුරෙක් බවට පත් වෙලා. 2004 සුනාමියත් සමග සයුරත් සතුරු වුණා. මේවා අප හමුවේ ඇති බිය හා අනතුරු. අප මේ ජල ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ කොහොමද? ජල කළමණාකරණය අංශයෙන් සිංගප්පූරුව ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් සිය මුල්ම ජාතික සැලැස්ම මගින් උත්සාහ කළේ වැඩි වැඩියෙන් ජලය රඳවා තබා ගැනීම පිළිබඳවයි. ඒ සමගම ඉතා ඥාණාන්විතව අසල්වැසි දකුණු මැලේසියාවේ ජොහෝ ප්‍රාන්තය සමග ජලය සැපයුම් ගිවිසුමකටත් එළැඹුණා. මුහුදු ජලය භාවිතයට සුදුසු පරිදි සැකසීමේ හා අපජලය පිරිසිදු කර ගැනීමේ කටයුතු වල නිපුණත්වය ඔවුන්ට හිමි වෙනවා. සිංගප්පූරුවේ මහජන උපයෝගීතා මණ්ඩලය මගින් නිෂ්පාදනය කරන “නවජලය” මගින් පිළිබිඹු වන්නේ එයයි. ජනජීවී නගර සංවර්ධනයේ දී මෙමගින් අපට උගත හැකි පාඩම් බොහොමයි.

ගෝලීය වටිනාකම් දාමයන් සමග සහසම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකියි. මේ පිළිබඳ දැනුම ලැබීමට තවත් උදාහරණ අප ඉදිරියේ තියෙනවා. චීන - සිංගප්පූරු - ටියැන්ජින් පරිසර නගරය එක් උදාහරණයක්. එය චීන හා සිංගප්පූරු කර්මාන්තකරණයේ සංයෝගයක් නිසා ගෝලීය ආර්ථික වටිනාකම් දාමයට එක් වී තියෙනවා. වැඩිහිටියන් හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් වෙනුවෙන් ඉදිවන සහන නිවාස යෝජනා ක්‍රම මගින් සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම පිරිමැසෙනවා. අපජලය පිරිසිදු කරලීමේ හා මුහුදු ජලය පානීය ජලය බවට පත් කරලීමේ කාර්යයන් සඳහා ආයෝජනය කරලීම ඔස්සේ තිරසර පාරිසරික පද්ධති සේවාවන් සඳහා පෙළඹවීම් ඇති කෙරෙනවා. ඒ නිසා ලෝක නායකයින් මෙවැනි නගරයන්හි සාර්ථකභාවයන් හා අසාර්ථකභාවයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් සඳහා මෙම අභියෝග ජයගැනීමට නම් එම රටේ පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි. මහා නගර කළමනාකරණය කිරීමේ දී බලපාන ප්‍රබලම ගැටළුව නම් ඔවුනට විවිධ මට්ටම්වල දී ආණ්ඩු සහ දේශීය බලධාරීන් සමග කටයුතු කිරීමට සිදුවීමයි. මධ්‍යම රජය සහ පළාත් සභා අතර, බලය බෙදන අවධිය වන විට මහා නගර හෝ ගෝලීය සම්බන්ධතාව යන සංකල්ප පිළිබඳව අදහසක්වත් ඔවුනට තිබුණේ නැහැ. නමුත් අද බලය ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම වෙනත් පරිසරයක දී සිදු කළ යුතුව තිබෙනවා. එම නිසා අපගේ පළාත් පාලන ව්‍යූහය පිළිබඳ නැවත සිතා බැලීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙම සාම්ප්‍රාදායික අභියෝගවලට මුහුණදෙමින් සිටින විට 21 වැනි ශත වර්ෂයේ මානව ක්‍රියාකාරීත්වය සේ සැලකෙන නාගරීකරණයේ නව ප්‍රවණතා පිළිබඳව දැනුවත්වීම වැදගත් වනවා. ඉහළ ජනගහනයක් සහිතව ජීවත්වීමට ලැබීම පුළුල් මානව සම්බන්ධතා සඳහා හොඳ අවස්ථාවක්. කෙසේ වෙතත් මෑත කාලීනව ඇති වූ නව ප්‍රවණතාවක් නිසා මානව සන්නිවේදනය සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වුණා. තොරතුරු ග්‍රහණය සඳහා තාක්‍ෂණික සන්නිවේදන උපකරණ භාවිතය, තොරතුරු සන්නිවේදනය හා ලබා ගැනීම සඳහා නව පරම්පරාවේ අධිවේගී අන්තර්ජාල පහසුකම් භාවිත කිරීම, දත්ත විශාල වශයෙන් භාවිත කරමින් තීන්දු ගැනීම උදෙසා නිර්මාපිත බුද්ධි තොරතුරු ලබා ගැනීම ආදීය අද මිනිසුන් අතර සිදු කෙරෙන්නේ මානව සබඳතා මත නොවෙයි. මෙවැනි අංග බිලියන 35 ක් පමණ අද අන්තර්ජාලය හා සම්බන්ධයි. ලෝක ප්‍රකට තොරතුරු තාක්‍ෂණ ආයතනයක් වූ සිස්කෝ සිස්ටම්ස් පවසන්නේ 2020 වන විට මේ ප්‍රමාණය බිලියන 50 දක්වා ඉහළ නැංවෙන බවයි. එය අන්තර් ජාලය හා බැඳුණු පුද්ගල ප්‍රමාණයට වඩා වැඩියි. අද අන්තර්ජාලයේ ඇප්ස් බිලියන 25 ක් භාවිත කරන පුද්ගල සංඛ්‍යාව බිලියන 4 යි. අපි අද ජීවත් වන ආකාරයට මෙන්ම නගර පරිපාලනය කරන ආකාරයට ද මෙමගින් බලපෑම් එල්ල වෙනවා. අපි සුහුරු වීදි ලාම්පු උදාහරණයකට ගනිමු. 2015 දී නොර්ත්ඊස්ට් ආයතනය කරන ලද අධ්‍යයනයකට අනුව 2015 වෙද්දී ලොව පුරා නගරවල එල්ඊඩී සහ සුහුරු වීදි ලාම්පු සවි කිරීම සඳහා ඩොලර් බිලියන 64 ක් ආයෝජනය කරනු ඇතැයි තක්සේරු කොට තිබෙනවා. සංවේදක, සන්නිවේදන හා විශ්ලේෂක මෘදුකාංග සමග මේ වීදි ලාම්පු ක්‍රමවේදය ඉතා සුහුරු තලයකට පත් වෙනවා.

ඉතින් මෙම සම්මන්ත්‍රණය වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ම මගේ කතාව අවසන් කරන්න මම කැමැතියි. නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතාවන් මානුෂීය සුරක්‍ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්‍ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද?” යනුයෙන් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, සංවර්ධන උපාය මාර්ග සහ ජාතන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමතිනී අනෝමා ගමගේ මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය

Powered by Blogger.