ඒකාබද්ධය ඉවරෙට ම, ඉවරා.......යි!



ඒකාබද්ධයේ රාජපක්ෂ සහෝදර සමාගම සහ ගෝල බාලයන් අතර ගැටුම දැන් කරමුලටම පැමිණ ඇති බව සනාථ වෙමින් තිබේ. පසුගිය 02 වැනිදා විශේෂයෙන් ගෝඨාභය හිතවාදීන්ගේ ජනබල සේනාව ඔවුනොවුන් අතර පවත්නා බල විරසකය පෙන්වූ අවස්ථාවක් විය. සායම හේදිලාම යන්නට නොදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැමිණ ජාමේ බේරා දුන්නද ජනබල සේනාවේ දිග පළල වසා දැමීමට එය ප්‍රමාණවත් නොවුණි. 

වාර්තා වූ අන්දමට නාමල් රාජපක්ෂ සහ විමල් විරවංශ අතර පවත්නා විරසකය එතැනදීද ඇවිලී තිබේ. මහින්ද රාජපක්ෂව නියෝජනය කළ කොමියුනිට්ස් පක්ෂයේ ඩිව් ගුණසේකරද එදා ජන බල සේනාව ප්‍රතික්ෂේප කළේ ඒකාබද්ධයට පොදු මතවාදයක් නොමැති බව පවසමිනි. ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමේද බහුතරය ජනබල සේනාව ප්‍රතික්ෂේප කරනු දකින්නට තිබුණි. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ පසුපස වැටී සිටින විමල් විරවංශ, උදය ගම්මන්පිළ වැන්නන්ගේ ජාතිවාදී හෙළුව වසා ගැනීමටත් රාජපක්ෂ සහෝදර සමාගමේ බල පොරය වසා ගැනීමටත් එදා ඔවුන් සතුව තිබූ ආණ්ඩුවට එරෙහි සටන් පාඨ ප්‍රමාණවත් නොවුණි.

විමල්ලා ඉදිරියේ දෙවෙනි ස්ථානයට පසුබසින්නට රන්ජිත් සොයිසලාද සූදානම් නැත. ඔවුන්ද ඔවුන්ගේ රාජපක්ෂ සළකුණ රැකගත යුතුය. එහෙයින් එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා රන්ජිත් සොයිසලාද සේනා සංවිධානයකට සැරසෙයි.

කොයිකටත් තෛලය ලෙස තිබෙන ජාතික සම්පත් විකිණීම,රණවිරු දඩයම,ආර්ථික පසුබෑම,අධ්‍යාපන කප්පාදුව,බදු යන කාරණා සටන් පාඨ මුල් කරගනිමින් රන්ජිත් සොයිසලාගේ කණ්ඩායම හෙවත් බැසිල් රාජපක්ෂගේ පොහොට්ටු කණ්ඩායම කොළඹ වටකරන බව පවසයි. 2015 ජනවාරි 08 සිදුවූ විසිවිල්ලෙන් පසු හැමදාමත් ඔවුන් කොළඹ වටකළේය. වරින් වර පොඩි සද්දයක් දැම්මේය. කළහැකි වින්නැහි සියල්ලම කර දැන් උතුරා යන දේශානුරාගයෙන් බොක්කටම ඇණ ගනිමින් නාහෙන් අඩන්නේ රටම කෝමා වී ඇති බවට යන සිතුවිල්ලෙන්ද යන්නත් වරෙක සිතෙයි.

යහපාලන ආණ්ඩුව හතර දෙසින් ආරම්භ කළ සංවර්ධන වැඩසටහන් හමුවේ තිගැස්සී සිටින මේ රාජපක්ෂවරු දැන් තම තමන්ගේ බලය එකිනෙකාට ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් එක යායේ වැටී සිටින බව පෙන්නුවද 2020 ලංවෙන්න ලංවෙන්න තමන්ගේම අය දිය රෙදි වලින් බෙලි කපන අයුරු පෙනෙන්නට තිබේ. මහින්ද රාජපක්ෂව ඉදිරියට දමමින් රාජපක්ෂලාම හතර අතට අදිමින් සිටියි. සොයිසලාගේ , විමල්ලාගේ දඟලන දැඟලිලි වලින්ම එය පෙනෙන්නට තිබේ.

කොහොම වෙතත් ඩිව් ගුණසේකර පවසන පරිදි පොදු මතවාදයක් ඒකාබද්ධයට නොමැති බව නම් හොඳාකාරවම දැන් පෙනෙන්ට තිබෙන කාරණයකි. මේ බල බෙදීම තවදුරටත් විස්තාරණය වනවා මිස එය නිවැරදි නොවන බව නම් සහතිකය. නැත්නම් මෛත්‍රී - රනිල් පිහිටෙන් රාජපක්ෂවරු එකිනෙකාට බලය පෙන්වමින් සිටින්නේ කුමකටද?

02 වැනිදා ජනබල සේනාවේ දිග පළල දැකගත් පරිද්දෙන්ම ලබන 05 වැනිදා සොයිසලාගේ සේනාවේ දිග පළලද දැකගනු රිසියෙන් පසුවෙමු.

Info Sri Lanka TV

Powered by Blogger.