'ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘතිය අඩපණ වෙයි?


‘ළඟම පාසල හොඳම පාසල‘ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට ආරම්භ කළද අදාළ ඉදිකිරිම් සමාගම්වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා එම ව්‍යාපෘතිය අවුල් වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඇතැම් පාසල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිරිම් ඇරඹුව ද මුදල් ප්‍රශ්න නිසා එවැනි ඉදිකිරිම් වලින් තුනෙන් දෙකක්ම නතර වී ඇතැයි වාර්තා වේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මූලිකත්වයෙන් 'ළඟම පාසල හොඳම පාසල' වැඩසටහනේ ජාතික සමාරම්භක උත්සවය 2016 වසරේ ජුනි මස 15 වනදා කලුතර, බණ්ඩාරගම විද්‍යාලෝක කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්විණි.

‘ළඟම පාසල හොඳම‘ පාසල වැඩසටහන සඳහා පාසල් තෝරාගැනීම ප‍්‍රධාන ව්‍යාපෘති 4ක් මගින් සිදු කෙරුණු අතර හඳුනාගත් ක්ෂේත‍්‍ර තුනක් යටතේ මෙම පාසල් සංවර්ධනය කිරීමට කටයුතු යොදා තිබිණි. ඒ අනුව, සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් 600ක්, මෑත කාලීන සංවර්ධන වැඩසටහන් සඳහා ඇතුළත් නොවූ උසස් පෙළ පන්ති සහිත පාසල් 1200ක්, ද්විතියික පාසල් සංවර්ධන වැඩසටහනට අයත් වූ පාසල් 776ක්, ප‍්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යෘපෘතිය යටතේ පාසල් 3577ක් මේ යටතේ සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි.

එක් එක් පාසල්වල අවශ්‍යතා හඳුනාගනිමින් මෙම සංවර්ධන කටයුතු සිදු කෙරෙන අතර, ඉදිකිරීම් සහ අලුත්වැඩියා කිරීම්, මානව සම්පත් සංවර්ධනය, භාණ්ඩ සහ උපකරණ සැපයීම යන අංශ යටතේ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කර තිබේ.

අයවැයෙන් අධ්‍යාපනයට ලොකු මුදලක්

මේ අතර එම වැඩසටහනට සහභාගී වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ පාසල් පද්ධතිය තුළ සිදු කළ යුතු වෙනස්කම්, පවත්නා අඩුපාඩු සහ වැරදුණු තැන් තමා විපක්ෂයේ සිටි කාලයේ පටන් හඳුනාගෙන සිටි බවත්, ඒ අනුව වැරදි ඇති තැන් නිවැරදි කරමින්, සිදු කළ යුතු වෙනස් කම් ඉටු කරන්නට සෑම විටම කටයුතු කරන බවත්ය.

අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරන මුදල ඉහළ නංවාගනිමින් ඒ සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගාගන්නට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන පරිදි අවශ්‍ය මුදල් රජයෙන් වෙන් කර තිබියදී අදාළ ඉදිකිරිම් සමාගම්වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා එම ව්‍යාපෘතිය අවුල් වී තිබීම පුදුම සහගත කරුණකි.

(AM)

Info Sri Lanka TV

Powered by Blogger.