Sex Ed Ad

චම්පිකගෙන් රටපුරා පැල මිලියනයක්!



රටපුරා පැල මිලියනයක් සිටුවමින් ‘සහසක් තුරු’ ව්‍යාපෘතිය 9 වෙනිදා මහනුවරින් අරඹන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ අද(07) දින පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ශ‍්‍රී ලංකාවේ නාගරික ප‍්‍රදේශ තුළ දැනට පවතින තුරු ආවරණය ප‍්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහල නැංවීම තුළින්, නාගරික ප‍්‍රදේශයන් මුහුණ දෙන වායු දුෂණය, පරිසර උෂ්ණත්වය වැඩිවීම වැනි ගැටළු අවමකර සෙවන සහිත සුවදායී තිරසර නගර ඇති කිරීම අරමුණු කරගනිමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින් දීප ව්‍යාප්ත රුක් රෝපණය කිරීමේ ජාතික පුර සෙවන වැඩසටහන  ”සහසක් තුරු” නමින් 2018 අගෝස්තු මස සිට ක‍්‍රියාත්මක කෙරේ. මෙහි සමාරම්භක වැඩසටහන අගෝස්තු මස 09 වන දින මහනුවර ගන්නෝරුව ගඟබඩ උද්‍යානයේදී ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘සහසක් තුරු’ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි අදහස නගරවල විධිමත්ව රුක්රෝපණ වැඩපිළිවෙලක් පවත්වා ගැනීම. එහෙම නැතිව අයාලේ සිදු කෙරෙන දෙයක් නෙමෙයි මෙය. යම් කාලයක් ගෙන නගර වල මෙම කටයුත්ත දිර්ඝ කාලිනව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

අද ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති නරඹපු හැම කෙනාම දකින්න ඇති ලෝකය පුරා ඇතිවී තිබෙන ගෝලීය උණුසුමේ අහිතකර ප‍්‍රතිපළ. ජපානයේ පමණක් 200 කට අධික පිරිසක් අධික උෂ්ණත්වය නිසා මේ වන විට මිය ගිහින්. ජපානයේ ඉතිහාසයේ කිසිම අවස්ථාවක වාර්තා නොවූ ඉහළම උෂ්ණත්වය වාර්තාවෙලා තිබෙනවා. සෙල්සියස් අංශක 43 ක්. ලංකාවේ කවදාවත් ඒ වගේ තත්වයකට ලඟා වෙලා නැහැ. ඒ වගේම යුරෝපයේ, ස්පාඤ්ඤයේ, දකුණු ප‍්‍රංශයේ නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 දක්වා වැඩිවෙලා තිබෙනවා. මේවා ඇත්තටම කාන්තරවල අපි අත්විඳපු තත්වයන්. ඒ වගේම සමහර රටවල්වල මේ උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇති වූ ජල හිඟය නිසා මේ වන විට කැරළිකාරී තත්වයන් ඇති වී තිබෙනවා. ළදරුවෝ වැඩිහිටියෝ මෙමගින් විශාල ලෙස පීඩාවට පත් වෙලා තිබෙනවා.

ඒ වගේම ඉතාම ශීත කාලගුණයක් තිබෙනවයි කියන කැනඩාවේ පවා මේ වන විට සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් වාර්තා වෙලා තිබෙනවා මේ තාප තරංග කි‍්‍රයාවලිය නිසා. මේකට ඇත්තටම හුඟ දෙනෙක් කියන්නේ ගිනියම් වූ නිවාසයක් බවට ක‍්‍රමයෙන් පෘථිවි ගෝලය පත්වන බවට. මේ වසරේ වාර්තා වූ උෂ්ණත්වය අපේ තිබෙන දත්ත අනුව ලෝකයේ පසුගිය අවුරුදු ලක්‍ෂ 12 දීම වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ හෝමෝසේපියන් එන්න කලින්වත් මෙවැනි උෂ්ණත්වයක් ලෝකයේ කොහේවත් වාර්තාවෙලා නැහැ. අපි ඉතාමත්ම විශාල අර්බුදයක් පාමුල සිටින බව තමයි අද ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති මාධ්‍යවලින් පෙනෙන්නේ එකක් ස්ථිර අයිස්කඳු දියවී යාම. එමගින් මුහුදු මට්ටම ඉහළ යෑම, හදිසි ලැව්ගිනි පැතිරී යාම. මේ මොහොතවන විටත් ඇමරිකා එක්සත් ජනපදයේ විශාල ලැව් ගින්නක් පැතිරී යනවා, ඒ වගේම හදිසි තාප රැළි නිසා ඇතිවන හෘදයාබාද වලින් සහ වෙනත් තත්වයන් මගින් මිනිසුන් මියයාම සිදුවනවා. ඒ වගේම ජල හිඟය නිසා ඇතිවන සමාජ කැරළි හා සමාජ අනාථ භාවයන් කියන ගැටළුවලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. ඇත්තටම ලෝක යුද්ධ, ත‍්‍රස්තවාදයන්ට වලට වඩා භයානක යුද්ධයක් ඉදිරියේදී එළඹෙමින් තිබෙන බව පැහැදිලියි.

ඒ වගේම විද්‍යාඥයින් හෝ කිසිවකු මින්පෙර විශ්වාස කරපු නැති ප‍්‍රමාණයෙන් උෂ්ණය ඉහළ යාම සිදුවනවා. මෙය සාමාන්‍යයෙන් විද්‍යාව දන්න අය කියන්නේ 1860 ඒ කියන්නේ කාර්මික විප්ලවයෙන් දෙවන යුගයෙන් පස්සේ ඒ අවස්ථාවේ තිබුණා නම් යම්කිසි උෂ්ණත්වයක්, එම උෂ්ණත්වයේ සිට සෙල්සියස් අංශක 1.5 ක් ඒක වැඩිඋනොත් එය ආපසු හරවන්න බැරි තත්වයකට එන බව. නමුත් දැන් තිබෙන තත්වයේ හැටියට සෑම වසරකම සෙල්සියස් අංශක .17කින් දැන් උෂ්ණත්වය වාර්තාවී ගෙන එනවා. ඒ වගේම දැන් සෙල්සියස් අංශක 1 ඉක්මවා ගොස් තිබෙනවා. ඊ ළඟ අවුරුදු දශකයේදී මේ 1.5 තීරක මොහොත පෘථිවිය පසු කරනවා. ඊට පසුව ඇතිවන තත්වයන් ගැන කාටවත් පුරෝකතනයන් කරන්න බැහැ. සෑම ආකාරයකටම බිහිසුණු විලම්පනයන් ඇතිවිය හැකියි. ඒ නිසා යුරෝපය වැනි රටවල් ඒ වගේම අයිස් පැවතිච්ච රටවල්වල පවා උෂ්ණත්වය වැඩි වි තිබෙනවා. කාලගුණයේ, දේශගුණයේ පවතින මේ විපරිත තත්වයන් නිසා නගර නිර්මාණයේ දී ඒ ගැන සැලකිලිමත් වීමට සිදුව තිබෙනවා.

නිවැරදි උස මට්ටමකින් යුත් ගසකට දිනකට හතර දෙනෙකුට අවශ්‍ය ඔක්සිජන් ලබා දීමේ හැකියාව තිබෙනවා. වාහන ඉන්ධන, ගල් අඟුරු දහනය ඇතුළු පරිසරයට හානිවන සෑම දහනයකින්ම පරිසරයට එක්වන කාබන්ඩයොක්සයිඞ් වායු කිලෝග‍්‍රෑම් 12 ක් ගසක් විසින් වසරකට උරා ගනු ලබනවා. එ මෙන්ම ජල සංරක්‍ෂණයට, තාප වායු දහරා පාලනයට ගසට හැකියාව තිබෙනවා. අපි මෙම වැඩ සටහන මහනුවරින් අරම්භ කරන්න තීරණය කළේ, මහනුවර තමයි රටේ තිබෙන වායු දුෂණය වැඩිම නගරය. ඒ නිසා එම නගරයෙන් අපි ආරම්භ කරනවා. කොළඹ නගරය වායු දුෂණයෙන් පාලනයවී ඇත්තේ මුහුදු සුළං හේතුවෙන්. ඉන්දියාවේ දිල්ලි, කල්කටා, මුම්බායි යන නගර වල ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර  ඇති ප‍්‍රමිතියට වඩා හැත්තැ ගූණයකින්  වැඩි වි තිබෙනවා ඒ අනුව ඒ නගර මිනිස්සුන්ට ජිවත් විය නොහැකි නගර බවට පත්වි තිබෙනවා.           මේ නිසා ඒ නගර තවදුරටත් මිනිසුන්ට ජීවත්වීට සුදුසු නැති නගර බවට පරිවර්තනය වෙමින් පවතිනවා. මේ නිසා එවැනි දූෂිත නගරවලට සංචාරක පැමිණීම ආයෝජක පැමිණීම සහ විශේෂයෙන්ම ධනය තිබෙන අයගේ, මධ්‍යම පංතියේ ජීවත්වීම බොහෝ දුෂකර කාර්යයක් වී තිබෙනවා, මොකද ළමයින්ට වැළඳී තිබෙන ලෙඩ රෝග නිසා. නමුත් අපට ආඩම්බරයෙන් කියන්න පුලූවන් දෙයක් තිබෙනවා ඒක තමයි 2008 වසරේදී මා ද පරිසර ඇමතිවරයා හැටියට සිටින විටදී ප‍්‍රවාහන අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාංශයත් එකතුව කරපු වායු විමෝචන ක‍්‍රියාවලිය නිසා කොළඹ නගරය හා අවට නගරවල දූෂණය වර්ධනයවීම සම්පූර්ණයෙන්ම පාලනය වී තිබෙන බව පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපද විශ්වවිද්‍යාල කරපු පර්යේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

ඒ වගේම අපි වායු දූෂණය මනින කි‍්‍රයාදාමයක් මධ්‍යම පරිසර අධිකාරියෙන් පවත්වාගෙන යනවා. නමුත් අපට මේ ගෝලීය වශයෙන් එල්ලවන ප‍්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. ඒ අනුව අපි එක පියවරක් හැටියට  නාගරික සංවර්ධනයේදී මාර්ගෝපදේශයන් හැටියට අපි ඇතුල්කර තිබෙනවා පරිසර හිතකාමීත්වය. තමන්ගේ බලශක්තිය පරිසර හිතකාමී ලෙස සිදු කරගන්න, ජලය ප‍්‍රතිචක‍්‍රීයකරණය කර ගන්න. ඒ වගේම හැකිතරම් දුරට නගර නිර්මාණයේදී විවෘත ස්ථාන ඇතිකර ඒවායේ ගස් කොළන් ආදිය ඇතිකර හිතකාමී තත්වයක් ඇති කරන්න. මේකට හොඳම උදාහරණය වරාය නගරය. වරාය නගරයේ බිම් ප‍්‍රමාණයෙන් 30%කට වැඩි ප‍්‍රමාණයක් විවෘත භූමියක් හැටියට පවත්වාගෙන යන්න කටයුතු කරන්න. ඉදිරිකාලයේදී සෑම නගර සැලසුමකදීම පරිසර හිතකාමීව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙම ගස් අපි ලක්‍ෂ ගණනින් එකපාර සිටුවන්න බලාපොරොත්තුවක් නැහැ. අපි මේ සෑම ගසක්ම අපේ දත්ත පද්ධතියකට ඇතුළු කරනවා. මේ ගස බලාගැනීමට කෙනෙක් සිටිනවා. ඒ වගේම මෙහි වර්ධණය පිළිබඳව අපි තොරතුරු තැන්පත් කර ගන්නවා. ඒ වගේම අදාල නගර සභා, ප‍්‍රාදේශීය සභා වගේම ඊට අදාල රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන ඒවායේ නඩත්තුව සම්බන්ධව ගස් දස ලක්‍ෂය ලෙස සඳහන් කළාට හෙට උදේ වන විට ගස් දස ලක්ෂයක් සිටුවන්නේ නැහැ. ගස් 300 ක් පමණ තමයි අපි සිටුවන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ 300 අපි පියවරෙන් පියවර නිවැරදිව නඩත්තු කරගෙන දත්ත ගබඩා කරගෙන පියවරෙන් පියවර ඉදිරි කාලයේදී වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි කාලයේදී නාගරික නිවාස සංකීර්ණවල, විශේෂයෙන්ම මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණවලත් මේ කටයුත්තම සිදු කරන්න අපි බලාපොරෙත්තු වෙනවා. සෑම නිවැසියෙකුටම තමන්ගේ ම වූ වෘක්ෂයක් නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් අපි මධ්‍යම පාන්තික නිවාසවල අනාගතයේ ඇතිකරන්න බලාපොරොත්තුවෙනවා. හතර දෙනෙක් ඉන්න පවුලක් එක ගහක් හොඳින් නඩත්තු කලොත් තමන්ගේ ඔක්ෂිජන් ප‍්‍රතිශතය පවත්වාගෙන යන්නට දායක වෙනවා. ජල සංරක්‍ෂණයට දායක වෙනවා. තමන් නිකුත් කරන කාබන් ඩයෝක්සයිඞ් ප‍්‍රමාණය අවශෝෂණය කිරීම සඳහා දායකවීමක් යම් ප‍්‍රමාණයකට සිදුවෙනවා.

තිරසර සංවර්ධනයකට රට ඇතුල් වී තිබෙන මොහොතේ මේ සම්බන්ධ අපේ කි‍්‍රයාදාමය හෙට මහනුවරින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.  ඊළඟ පියවර කුරුණෑගල නගරයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා යයි පැවසීය.

No comments:

Latest Video

Powered by Blogger.