Ad
Ad

ලංකාවේ විරෝධතා කළ හැකි අලුත් ක්‍රම 5 ක් : එරන්ද ගිනිගේ


පෙත්සම්, පාගමන්, සත්‍යග්‍රහ, වැඩවර්ජන, උපවාස, උද්ඝෝෂණ, පෙළපාලි, කැරළි ආදි ක්‍රියාවන් පොදුවේ “විරෝධතා” ලෙස හැඳින්විය හැකිය. විරෝධතා යනු ජනතාපාලනය (Democracy) ඇති රටක ඉතා වැදගත් සහ අනිවාර්ය අංගයකි. ජනතා නියෝජිතයන් හට ඔවුන්ගේ තැන එනම් ජනතාවගේ දෙපාමුල පෙන්වා දෙන; ජනතාවට පමණක්ම හිමි පරමාධිපත්‍ය බලය භාවිතා කරන; රටේ ප්‍රතිපත්ති සහ කාලීන ප්‍රවණතා පාලනය කරන; තම රජය, පිටස්තර රාජ්‍ය, අන්තර්ජාතික සංවිධාන, දේශීය සහ බහුජාතික ව්‍යාපාර ජනතාවගේ පාලනය යටතේ තබන ඉතාමත් බලගතු මෙවලමකි, “විරෝධතාවය”.

නමුත් අද වන විට ලංකාවේ සිදු කෙරෙන විරෝධතා නම් ඉතා දුර්වලය. ඒවා බොහෝමයක වැදගත් ප්‍රතිඵල නොමැත. එයට ප්‍රධාන හේතුව වන්නේ එම විරෝධතා වලට ප්‍රමාණවත් ජනතා සහයෝගයක් නොමැති වීමය. බස් වලින් සෙනග ගෙන්වන, දේශපාලන මුදලාලිලා අනුග්‍රහය දක්වන, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බලෙන් ඇවිද්දවන, හැමදාම ගුටිකන, නමට-මාරාන්තික උපවාස කරන කෘත්‍රිම විරෝධතාවයන් විසින් එම වටිනා ජනතාපාලන මෙවලම අද කණගාටුදායක ලෙස අවතක්සේරු කර දමා ඇත.

විරෝධතාවයක සාර්ථකත්වය රඳා පවතිනුයේ එකම එක කාරණාවක් මතය. එය නම් එම විරෝධතාවයට මහජනතාව දක්වන සැබෑ සහයෝගයයි. නැවත කියමි, “සැබෑ සහයෝගයයි”. ජනතායෝගය නොමැති විරෝධතාවය පුස්සකි. ජනතාව ප්‍රතික්ෂේප කරන විරෝධතාවය විහිළුවකි. සාම්ප්‍රදායික විරෝධතා ක්‍රම දැන් ඉතා නීරස වී ගොසිනි. 21 වන ශතවර්ෂයට ගැලපෙන ලෙස විරෝධතාවයට හිමි තැන නැවත දිනා ගත හැකි ක්‍රම 5ක් මෙසේ ලියමි. 

1. පාර වසා – පාර තැනීම

දහසක් කම්කටොළු මැද ජීවිකාව සරිකර ගැනීමට මහමග දුවන සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කරමින් පාරවල් හරස්කර වටරවුම් වටකර සිදු කරන විරෝධතා වල එකම ප්‍රතිඵලය ජනතා අප්‍රසාදයයි. විශ්වවිද්‍යාල සිසුන්ගේ සහ දේශපාලන පක්ෂ වල විරෝධතා බොහොමයක් අසාර්ථක වීමට හේතුව ඒවාට සාමාන්‍ය ජනතාවගේ සහයෝගය නොමැති වීමය.

ජනතාව අපහසුතාවයට පත් කර ඔවුන්ගේ අප්‍රසාදය රජය වෙත යොමු කර එමගින් සිය අරමුණ ජය ගැනීමේ ක්‍රමය දැන් වැඩකරන්නේ නැත. ජනතාව රජයට බැනීම පසෙක තබා විරෝධතාකරුවන්ට සහ ඔවුන්ගේ මව්පිය-ගුරුවරුන්ට නම් යසට බනිති. උපක්‍රමය අසාර්ථකය.

ජනතායෝගය දිනා ගැනීමට නම් පළමුව ජනතා විශ්වාසය දිනාගත යුතුය. අවම වශයෙන් ජනතා අනුකම්පාව හෝ දිනාගත යුතුය. ජනතාව අපහසුතාවයට පත් කිරීම, ඔවුන්ට පිළිගත හැකි සාධාරණ හේතුවක් ඇතුව සිදු කළ යුතුය. අවම වශයෙන් ඔවුන්ට දොස් නැගිය නොහැකි හේතුවක් ඇතුව කළ යුතුය.

උදාහරණයක් ලෙස විශ්වවිද්‍යාල සිසුන්ට ඉතා සැලසුම් සහගතව ප්‍රධාන මාර්ගයක් හරස්කර එම මාර්ගයේ එක් කොණක සිට අනෙක් කොන දක්වා පිළිසකර කළ හැකිය. පිරිසිදු කළ හැකිය. මග දෙපස කුණු ඉවත් කර, වල්පැල ගලවා, මල්ගස් සිටුවා සුන්දර කළ හැකිය. එවිට එම විරෝධතාවයට ජනතාව අනුකම්පා කරනු ඇත. ඔවුන්ට තවදුරටත් සිසුන්ට දොස් නැගිය නොහැක. පාර වසා ඇත්තේ පොදු සමාජ සේවයකටය. එවිට ජනතා උදහස විරෝධතාකරුවන්ගෙන් මිදී, රජය හෝ අදාළ පාර්ශව වෙත එල්ල වෙනු ඇත. 

2. පහන්කනු පෝරක

සැබෑ විප්ලවවාදියෝ සුන්දර නිර්මාණකරුවෝය. උගුරු දහසකින් කෑ ගසා කිව නොහැකි මහා ඝෝෂාවක් එකම එක නිර්මාණයකින් කන්අඩි පසාරු කරමින්, අක්ෂිකාච පුපුරවමින් සමාජගත කිරීමට විප්ලවකරුවාට හැකි විය යුතුය. එවැනි දක්ෂයෝ ලංකාවේ හිඟය.

මේ දිනවල ඒ මේ අත විසිවන මරණ දඬුවම පිළිබඳව සැබෑ ජනතා විවාදයක් ඇති කිරීමට රජය හෝ විපක්ෂය හෝ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන සංවිධාන හෝ ආගමික සංවිධාන හෝ අපොහොසත් වී ඇත. ඔවුන් දන්නේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා, මයික්‍රොෆෝන වලට මුවා වී පහසු අසුනක් අරා, විරිත්තමින්, අසන්නන් සිනස්සවමින්, සම්ප්‍රප්ප්‍රලාප දෙඩීමටත්, මාධ්‍යවේදීන්ගේ මෙලෝ රහක් නැති ගොන් ආතල් වලට පිළිතුරු දීමටත් පමණී.

ඒ වෙනුවට එක රැයෙන් රටේ සියලු ප්‍රධාන මාර්ගවල පහන් කණු වල පේළියට මර තොණ්ඩු එල්ලා දැමුවා නම්, උදෑසන නැගිටින රටේ ජනතාවට මෙම ගැටළුවේ බරපතල කම ටක්කෙටම දැනෙනු ඇත. රජයටත් ඒවා ගලවා දැමීමට අවශ්‍ය නැත. මන්ද ඔවුන් කියන පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බියවැද්දවීමට නම් ඒ සඳහා හොඳම ක්‍රමය පෝරකය ඔවුන්ගේ දෑස මානයේම පෙන්වීමය. 

3. ළමා සොල්දාදු බෝනික්කෝ

මීට වසර නවයකට පෙර අපේ රටේ දරුණු යුද්ධයක් තිබුණු බව බොහෝ දෙනාට දැන් අමතකව ගොසිනි. “ගිනි පෙනෙල්ලෙන් බැට කෑ මිනිහා කණාමැදිරි එළියටත් බයයි” කීවට ඒ කියා ඇත්තේ මෙරට මිනිසුන් ගැන නොවිය යුතුය. එක්කෝ අපේ මිනිස්සු සමාව දී, අමතක කිරීමට හපන්නුය. එක්කෝ නොම්මර එකේ මෝඩයෝය. ඒ තරමටම අද වන විට ත්‍රස්තවාදය පහසුවෙන් සාධාරණීකරණය කරනු දැකගත හැකිය. විජයකලා මහේස්වරන්ගේ ප්‍රකාශය එහි භයානක සහ ආසන්නතම උදාහරණයයි. නමුත් සතියක් යන්නට මත්තෙන් එයද ජනතාවට අමතක විය.

එයට හේතුව නම් එම දරුණු ප්‍රශ්නය විජයකලාට ලඝු කිරීමයි. සිදු විය යුතුව තිබුනේ කොටි ත්‍රස්තයන්ගේ භයානකකම නැවත ජනතාවට මතක් කර දීමය. සිදු වූයේ විජයකලා ප්‍රසිද්ධ වීමය. ඕජස් ගලමින් වලෙන් නැගිටින ත්‍රස්තවාදී මළ-නොමළ ඩ්‍රැකියුලලාට පෙන්විය හැකි හොඳම කුරුසය නම් කොටි ළමා සොල්දාදු ඇඳුමින් සැරසූ බෝනික්කන් මහමග සිටුවා තැබීමය. මෙරට උපන් අපේම අහිංසක දරුවන් අතට ගිනි අවි දුන් දුෂ්ටයන් ගැන ජනතාවට ටොක්කක් ඇන මතක් කර දීමය.

20 වන ශතවර්ෂයේ කොටි ත්‍රස්තවාදය මෙරට ජිවත් වන සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ජනතාව කිසිදා අමතක නොකළ යුතුය. එය මතකයේ තිබෙනතාක් කල් නැවත එවැනි අවාසනාවක් ඇති නොවනු ඇත. එය අමතක වූ දාට නැවත ත්‍රස්තයෝ අවි ගනු ඇත. සිංහල-බෞද්ධ අන්තවාදියෝද, දෙමළ-හින්දු අන්තවාදියෝද, මුස්ලිම්-ඉස්ලාම් අන්තවාදියෝද, ඇමරිකන් කුලී ඝාතකයෝද මර්ධනය කළ හැකි හොඳම ක්‍රමය ජනතාව එක පයින් ත්‍රස්තවාදයට එරෙහිව විරෝධතා දැක්වීමය. 

4. මහබැංකුව වටේ හිස් පිඟන්

වේදිකා මත හෝ කට්ට කළු රූපවාහිනී ගුහා මැදිරි තුළ බෙරිහන් දෙමින් දේශපාලනය කිරීම ජනතාවට තුන් තිත්ත වී තිබේ. මාගේ පරම්පරාවේ සහශ්‍රයේ දරුවෝ නම් ඔය සම්ප්‍රදාය දැනටමත් ප්‍රතික්ෂේප කර ඇත. “පාළු ගෙයි වලං බිඳීමෙන්” වැඩක් නැත. මහබැංකු මංකොල්ලය වැනි මහා දරුණු ආර්ථික හානියක් වී තිබියදීත් ඒ පිළිබඳව දැවැන්ත ජනතා විරෝධයක් ඇති කිරීමට නොහැකි වී ඇත්තේ එබැවිනි.

ජීවන වියදම දාරගත නොහැකිව හුළං බොන ජනතාවට විදී දිගේ කෑ ගසමින් ඇවිදීමට පණ නැත. එවිට ඔවුන් එන්නේ පක්ෂයේ මුදලාලිලා දෙන බත් පැකට්ටුව වෙනුවෙනි. ජනතා විරෝධය මතු කළ හැක්කේ කුසට අහරින් නොවේ. බත් පැකට්ටුවට කෑ ගසන එකාට විරෝධයක් නැත. ජනතා විරෝධය මතු කළ හැක්කේ ඔවුන්ගේ හදවතේ තන්තු පිරිමැදීමෙනි. ජනතාවගේ හිරවුන හැඟීම් ප්‍රසාරණය කිරීමෙනි.

ජනතාවගේ බඩගින්න, ජනතා නියෝජිතයන්ට දැනෙන්නට සැලැස්විය හැකි එක ක්‍රමයක් නම් මහබැංකුව වටේ, පාර පුරා රටාවකට හිස් පිඟන් ඇතිරිමයි. ජනතාව බඩගින්නේ තබා ජනතාවගේ මුදලින් ආනයනය කරගත් සුඛෝපභෝගී වාහනයේ යන තඩි ඇමතියන් තමන්ගේ හිස් පිඟන් කුඩු කරමින් යනු ඩ්‍රෝන කැමරා වලින් දකින විට ජනතාවගේ හදවත් හොඳටම පිරිමැදෙනු ඇත. සැබෑ ජනතා විරෝධතාවය එවිට ඇරඹෙනු ඇත. 

5. පාර්ලිමේන්තු පිටියේ ලැඟුම් ගැනීම

“විරෝධතා කරන්න කරන්න ගහන එකාත් මෝඩයාය. ගහන්න ගහන්න විරෝධතා කරන එකාත් මෝඩයාය.” හැමදාම ගුටිකන විට එය සාමාන්‍ය දෙයක් බවට පත් වේ. දැන් රටේ විරෝධතාවයන්ට සිදු වී ඇත්තේ එයයි. ඕනෑම විරෝධතාවයක් ඉතා වගකීමෙන් සහ සැලසුම් සහගතව සිදු කළ යුතුය. සියලු විරෝධතාවලින් දරුණුතම විරෝධතාවය වන්නේ අවිහිංසාව පදනම් කරගත් විරෝධතාවයයි. සුළු පැය ගණනක පාගමනක අවසන ගුටිකා, කඳුළු වගුරවමින්, සෙරෙප්පු දෙකත් දමා, හිස් ලූ ලූ ඇත විසිර යන විරෝධතාවය නින්දිතය.

සැබෑ විරෝධතාකරුවෝ ඉවසිලිවන්තයෝය. ඔවුන්ට ක්‍ෂණික පොරවල් වීමට අවශ්‍ය නැත. ඔවුන්ට වැදගත් විරෝධතාවයේ අරමුණයි. ඔවුන් ජනතා විරෝධතාවය දිනෙන් දින වැඩි කර ගනී. පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති පිටිය හෝ නිදහස් චතුරශ්‍ර භූමිය අත්පත් කරගෙන කූඩාරම් අටවාගෙන, එහිම කෑම උයා ගෙන කමින්, තාවකාලික වැසිකිළි ඉදිකරගෙන, රාත්‍රියේ ගිනිමැල දල්වා සංගීත සංදර්ශන පවත්වමින්, කලා නිර්මාණ කරමින් සති ගණන් සිටින විට තව තවත් විරෝධතාකරුවෝ එහි ලැඟුම් ගනු ඇත.

ජනතා නියෝජිතයන්ට බලපෑම් කළ හැකි හොඳම ක්‍රමය ඔවුන්ට දරාගත නොහැකි හිසරදයක් වීමය. ජනතා දේපළවලට හානි නොකර ඉවසීමෙන් සහ නිර්මාණශීලිව විරෝධතා කිරීමෙන් ජනතායෝගය දිනා ගැනීමෙන් සැබෑ සමාජ බලපෑමක් ඇති කළ හැකිය. විරෝධතා කළ හැකි මෙවැනි අලුත් ක්‍රම ඔබටත් හිතන්න පුළුවන්ද? ඒවා මෙහි කොමෙන්ටු කරන්න.

(දොස්තරවරුන්ට විරෝධතා කරන අලුත් ක්‍රමයක් ලිවීමට සිත් වුවත් ඉන් වැලකී සිටියෙමි. පිරුණු කලගෙඩි තවත් පිරවිය නොහැක.)

කවර පින්තූරය – ස්පාඤ්ඤයේ ගොන් පොර වලට එරෙහිව සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කළ ලෝකයේම අවධානය දිනාගත් විරෝධතාවයක්.

[එරන්ද ගිනිගේ]

No comments:

Powered by Blogger.